24ක් සැකපිට අල්ලයි

0
22

පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් 14 වැනිදාද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අවුරුදු 25, 29 සහ 32 වයස්වල පසුවන මහනුවර සහ මුල්ගම්පළ පදිංචිකරුවෝ වෙති.

ඉකුත් මැයි මස 9 වැනිදා දිවයින පුරා පැවැති ප්‍රචණ්ඩකාරී සහ කළහකාරී සිදුවීම් හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසටද ගිනි තබා අලාභ හානි සිදුකර තිබිණි. මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව මහනුවර පොලිස් ස්ථානය මඟින් සැකකරුවන් 17 දෙනකුද මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් 7 දෙනකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

කීර්ති මෙන්ඩිස්