ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 2000ක්

0
156

ශ්‍රී ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති නමුත් වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බව අනාවරණය වෙයි.

මෙම වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ මෙවැනි රෝගීන් 387 දෙනෙකු ජාතික ලාදුරු මර්දන ඒකකය මගින් හඳුනා ගෙන තිබේ.

එසේ හඳුනා ගන්නා රෝගීන්ගෙන් සියයට 10ත් 12ත් අතර සංඛ්‍යාවක් වසර 17ට අඩු කුඩා දරුවන් බව ද ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

කුඩා දරුවන් තුළ මෙවැනි රෝග ලක්ෂණ තිබීම ලාදුරු රෝගය සමාජය තුළ බහුලව පැතිර යන බවට ඇඟවෙන සාධකයක් බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය. මෙම රෝගය පුද්ගලයකුගේ ස්නායුවලට බලපෑම සිදුකරන බව ද ඒ තුළින් ඇඟිලි හිරි වැටීම අතපය හිරි වැටීම වැනි ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඒ මහතා පැවසීය.

ලාදුරු විෂබීජයක් ශරීරගතවී වසර 15ක් පමණ ගෙවී ගිය පසු රෝග ලක්ෂණ පහළ වන බව ද කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය තුළ පැහැයෙන් අඩු කුඩා ලප වැනි ලක්ෂණ තිබේ නම්, වහා ම ළඟ ම තිබෙන චර්ම රෝග සායනයක් වෙත යොමු වෙන ලෙස ද ඒ මහතා සඳහන් කළේ ය.

මෙම රෝගය වළක්වා ගැනීම සඳහා නිශ්චිත ප්‍රතිකාර මෙරට තුළ ඇති බව ත් ඒ සඳහා සතියක කාලයක් නියමිත ප්‍රතිකාර ලබා ගැනීම තුළින් රෝගය තව කෙනෙකුට පැතිරී යාම වළක්වා ගැනීමට හැකිවන බව ද වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසීය.