සිසුවා අනතුරට ලක් කර පැන්න ප්‍රා. සභා මන්ත්‍රි අත්අඩංගුවට

0
20

පාසල් සිසුවකු අනතුරට ලක් කර පලාගොස් සැඟව  සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පැවැසීය.

සැකකරු ඉකුත් 12 දා පස්වරු 6.30ට පමණ කන්දේවිහාරය දෙස සිට බේරුවල දෙසට මෝටර් රථයකින් ගමන් කර ඇති අතර,  පාරේ දකුණු පසින් ගමන්ගත් අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් සිසුවකු අනතුරට ලක් කර පලාගොස් තිබිණි.

අනතුරට පත් පාසල් සිසුවා බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කළුතර ශික්‍ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි බේරුවල රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. ඒ අනුව ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමෙන් පසු අලුත්ගම පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අලුත්ගම පොලිසිය වැඩිදුරට පරීක්‍ෂණ පවත්වයි.

පොතුපිටිය – සුමිත් රණවක