සර්වකාලීන ප්‍රශ්න අර්ධ කාලීන රැකියාවලින් විසඳීම

0
60

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කියනවා මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් බලවත්ම ආයුධය තමයි අධ්‍යාපනය කියල. ඉතින් සිස්ටම් චේන්ජ් ගැන කතා වෙන කාලයක අධ්‍යාපනයට තියෙන වටිනාකම සහ තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අධ්‍යාපනය මත තමයි රටක අනාගතය රඳා පවතින්නෙ. එහෙම කියද්දි, එහෙනම් මේ රටේ නිදහස් අධ්‍යාපනයක් පවතින තත්ත්වයකදී මේ තරම් ආර්ථික වශයෙන් සහ සමාජයීය වශයෙන් දුර්වල තත්ත්වයකට ඇදවැටුණේ ඇයි කියන ප්‍රශ්නය ඔබට ඇති වෙන්න පුළුවන්. අපිට ඒ ගැටලුව මෑත කාලීන වඩාත් අවධානයට යොමු වූ පාසල් සිසුන්ට අර්ධ කාලීන රැකියා සඳහා යොමු වීමට අවසර දෙන්න සූදානම් යනුවෙන් පළවූ පුවත හා සමගාමීව සාකච්ඡා කළ හැකියි.

ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අනුව ළමයා යනුවෙන් හැඳින්වෙන්නේ අවුරුදු 14ට අඩු තැනැත්තෙක් බව 1956 අංක 47 දරන ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත තුළ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව එම වයස් සීමාව අවුරුදු 18ක්. සාමාන්‍යයෙන් දරුවෙක් අධ්‍යාපනය ලබන කාල සීමාව තුළ නිසි ආකාරයෙන් අධ්‍යාපනය ලැබිය යුතු බවයි පිළිගැනීම. එම නිසා බොහෝදුරට

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අර්ධ කාලීනව හෝ පූර්ණ කාලීනව රැකියාවන්ට යොමු කිරීමක් සිදු වන්නේ නැහැ. 1989 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව පැවැත්මේ අයිතිය, සංවර්ධනය වීමේ අයිතිය ළමා මෙහෙකාර සේවය මඟින් සූරාකෑමට ලක් නොවීමේ අයිතිය ආදී වශයෙන් ළමයින්ගේ රැකවරණය සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමය අපයෝජනය සම්බන්ධයෙන් 2016 වසරේදී සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. එම සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 5 – 17 අතර වයස් කාණ්ඩයේ දරුවන් 43,343ක් ළමා ශ්‍රමිකයන් බවට හෙළිවුණා. ප්‍රතිශතයක් වශයෙන් එය 1%ක ප්‍රමාණයක්. එය 2008 සහ 2009 සමීක්ෂණයේ ප්‍රතිඵලය වූ 2.5%ක ප්‍රමාණයට වඩා සැලකිය යුතු අඩු වීමක්.

මෙම සමීක්‍ෂණයේදී හතළිස් පන්ලක්ෂ හැත්තෑඑක්දාහක  (4,571,000)  ඇස්තමේන්තුගත ළමයින් සංඛ්‍යාවෙන් එක්ලක්ෂ තුන්දාස් හත්සීයක් (103,700) අවම වශයෙන් පැය 7ක් වැඩ කරලා තියෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 2.3%ක ප්‍රමාණයක්. එයිනුත් මෙම ළමයින්ගෙන් හතළිස් තුන්දාස් හත්සීයක් (43,700 – 0.1%) ශ්‍රමිකයන් ලෙස කටයුතු කළ අතර ඉන් තිස්නවදාහක් (39,000 – 0.9%) අන්තරායකර රැකියාවන්වල නියැළී තිබුණා. මෙහිදී සැලකිය යුතු කාරණය වන්නේ ළමා ශ්‍රමිකයන්ගේ අනුපාතය ස්ත්‍රී, පුරුෂභාවය, වයස සහ පදිංචිය අනුව වෙනස් වන බව. එයින් ළමා ශ්‍රමයේ යෙදෙන පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය 1.4%ක අගයක් ගැනීමේදී  කාන්තාවන්ගේ එය 0.5%ක අගයක් ගන්නවා. ඒ වගේම වයස අවුරුදු 15-17 වැඩිම වයස් කාණ්ඩයේ ප්‍රතිශතය 3.7%ක ප්‍රමාණයක් විවිධ රැකියාවන්වල නියුතු වෙලා ඉන්නවා. මේ තමයි ශ්‍රී ලංකාවේ මේ වනවිට ළමා සේවා නියුක්තිය පිළිබඳ තත්ත්වය. ඒ වගේම කොවිඩ් – 19 සහ ආර්ථික අර්බුදය නිසා වර්තමානය වන විට දත්ත මීට වඩා වැඩි අගයක් ගැනීමේ විශාල ඉඩකඩක් පවතිනවා.

එවැනි තත්ත්වයක් තිබියදී රජය විසින් පාසල් ළමයින් සඳහා අර්ධකාලීන රැකියාවන් හි නියැළීමට අවසර ලබා දීම සම්බන්ධව අවධානය යොමු කර තිබෙන බවයි දැන ගන්න තිබෙන්නෙ. පවතින තත්ත්වය අනුව මේ තීරණය සම්බන්ධයෙන් විවේචන වගේම සාධනීය අදහස් දකින්න ලැබෙනවා. අමතක නොකළ යුතු කාරණය වන්නේ 2021 ජනවාරි මස සිට බලාත්මක කෙරුණු පනත අනුව අනිවාර්ය අධ්‍යාපන පනත යටතේ අනිවාර්යයෙන්ම දරුවකු වයස අවුරුදු 16 වනතුරු අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒ නිසා මෙම තීරණයෙන් දරුවාගේ පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොවිය යුතුයි. මේ සම්බන්ධව රජය සතුව නිසි සැලැස්මක් පවතීද යන්න පිළිබඳව කිසිදු අදහසක් තවමත් පෙනී ගොස් නැහැ.

පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියාවන්හි නියැළීමට අවස්ථාව ලබා දෙන්නේ නම් එම ක්‍රියාවලිය අධ්‍යාපනය හා සමගාමීව සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පොතපතට පමණක් සීමාවී තිබීම තුළ ඇතැම් රැකියා සඳහා දැඩි තරගකාරීත්වයක් සහ තවත් රැකියා සඳහා සේවය සැපයීමට සුදුසු පුද්ගලයන් නොමැති තත්ත්වයක් දැකිය හැකියි. ඒ සඳහා විශේෂයෙන් සමාජ ආකල්ප බලපා ඇති බවක්ද පැහැදිලි කරුණක්. රැකියාව තුළින් උස් පහත් භේද සකසාගෙන වැඩි වටිනාකම් සහ අඩු වටිනාකම් සහිත රැකියා වර්ගකොට සැලකීම මේ අර්බුදය උග්‍ර වීමට හේතුවක් බවට පත්වෙලා තිබෙනවා. එම තත්ත්වය සමනය කිරීම සඳහා පාසල් ළමයින් තුළ රැකියා වර්ග භේදය ඇති නොකර ඔවුන්ගේ අභිමතය ඔස්සේ යමින් තමුන්ට කැමැති ක්ෂේත්‍රයක රැකියාවක නියුතු වීමේ වටිනාකම අවබෝධ කරවීම වැදගත්. ඒ සඳහා මෙම ක්‍රමවේදය යොදාගත හැකියි.

හුදු අර්ධ කාලීන රැකියාවකට යොමු කරනවාට වඩා තමන් කැමැති ක්ෂේත්‍රයකින් රැකියාවක් සඳහා අධ්‍යාපනය ලබා දීම මෙහිදී සිදු කළ හැකියි. උදාහරණයක් ලෙස දරුවා වඩාත් කැමැත්තක් දක්වන්නේ සූපවේදියකු වීම සඳහා නම් පාසල් කාලයෙන් අනතුරුව ඔහුව හෝටලයක සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කොට ඒ සම්බන්ධව අත්දැකීම් ලබා ගැනීම සඳහා යොමු කරවීමට පාසලට අවස්ථාව සලසා දිය හැකියි. වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා කැමැත්තක් දක්වන්නේ නම් ඒහා සම්බන්ධ ආයතනයකට සිසුවා යොමු කළ හැකියි. උදාහරණයක් ලෙස කැනඩාව තුළ පාසල් දරුවන් ඔවුන්ගේ පාසල් කාලයෙන් අනතුරුව වීඩියෝ ගේම් නිර්මාණය කරන ආයතනයක් හා සම්බන්ධ කරන ලද අතර එයින් ඔවුන්ගේ නිර්මාණයේ දුර්වලතා හ¾දුනාගැනීමටත් පාසල් දරුවන්ට ආදායමක් උපයා ගැනීමේ හැකියාවත් නිර්මාණය කර දීම පෙන්වා දිය හැකියි. මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් දරුවාගේ ආරක්ෂාව සහ ශ්‍රම සූරාකෑමෙන් වළක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.

විධිමත් සැලැස්මක් තුළින් කටයුතු කළ හැකි නම් අනාගතයේ ශ්‍රී ලංකාවට රැකියා ක්ෂේත්‍රය තුළ පවතින බොහෝ අර්බුදයන් විසඳා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. එම නිසා රජය විසින් සිදු කළ යුත්තේ අර්ධකාලීන රැකියා සඳහා පාසල් දරුවන් යොමු කිරීමට වඩා රැකියාභිමුඛ අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමයි. එහිදී සාහිත්‍ය සහ වෙනත් අධ්‍යාපනික කුසලතා වර්ධනය කිරීම පිළිබඳවත් අවධානය යොමුකිරීම වැදගත්. එසේ නොමැති වීමෙන් ගුරුතරුව වේදිකා නාට්‍ය තුළ පවසන ආකාරයට කළයක් වැනි හිසට පුරවා ගතයුත්තේ මොනවාද යන්න පිළිබඳව දරුවන්ට නිසි අවබෝධයක් නොලැබී යෑම පමණයි.

චතුරංග හතුරුසිංහ