වේවැල්කඳුර නිවෙසක නරක් වූ මළසිරුරක්

0
11

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්ගහවෙල, වේවැල්කඳුර ප්‍රදේශයේ නිවෙසක තිබී දින තුන හතරකට පමණ පෙර මියගිය පුද්ගලයකුගේ සිරුරක් වැල්ලවාය පොලිසිය විසින් පෙරේදා (14දා) සොයාගන්නා ලදී.

නිවෙස දෙසින් පැමිණි දැඩි දුර්ගන්ධයක් සම්බන්ධයෙන් සැක සිතුණු ප්‍රදේශවාසීන් 119 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඇත. ඒ අනුව පොලිසිය පැමිණ මෙම නිවෙසේ තිබී මළසිරුර සොයාගත් අතර ඒ වනවිට දේහය නරක් වී තිබිණි. මොහු මියගොස් ඇත්තේ ගෙල වැලලාගෙනය.

මළසිරුර ආසන්නයේ වස කුප්පියක්ද තිබිණි. මළසිරුර කාගේද යන්න හඳුනාගැනීමට නොහැකි වූ බැවින් වැල්ලවාය හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජේ. හේරත් මහතා මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් කරන ලෙස වැල්ලවාය පොලිසියට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වැල්ලවාය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ මාලනි තෙන්නකෝන් පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කෙරිණි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස වැල්ලවාය පොලිසියට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර මෙම නඩුව ඔක්තෝබර් 25 දින යළි කැඳවීමට නියෝග ලබාදෙන ලදී. මෙම මරණය සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම සඳහා දේහය බදුල්ල මහ රෝහලට රැගෙන ගිය අතර ඊයේ (15දා) එම පරීක්ෂණය කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් සැරයන් සිසිර (5523) මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වැල්ලවාය _ ජී.අයි. රොෂාන්