වෘත්තීය වගකීම ඉටුනොකරන්නන්ට එරෙහිව දැන් ජනතාව නැඟී සිටිනවා

0
29

කවුරුහරි තම සමාජ හා වෘත්තීය වගකීම නිවැරදිව ඉටු නොකළහොත් ඊට එරෙහිව ජනතාව නැඟී සිටින බවත් සැමදෙනා තම සමාජ හා වෘත්තීය වගකීම නිවැරදිව ඉටු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.

ශ්‍රී  ලංකිකයන් ලක්ෂ තුනක් විදෙස් රැකියා සඳහා විදෙස්ගත කිරීමේ විදේශ  රැකියා අමාත්‍යාංශ වැඩසටහනට සමගාමීව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මඟින් සංවිධානය කළ මතුගම සාන්ත මේරි මහා විද්‍යාලයේ පැවැති විදෙස් රැකියා පොළෙහි ආරම්භක ජනහමුවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රිවරයා මෙසේද කීය.

අප ප්‍රදේශයේ විදෙස්ගත වීමට තරුණ ප්‍රජාවට උදව්වක් ලෙස මතුගම විදේශ රැකියා පොළක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳ මා මූලිකව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඇතුළු  නිලධාරීන්ට ස්තුතිය පළකරනවා.

අද අප රට වැටී ඇති අර්බුදය මත දරුවන් රට යෑමට කල්පනා කරනවා. එහිදී විදේශ රැකියා ආයතනයන් කොතෙක් තිබුණත් මෙලෙස විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මැදිහත්ව ඔවුන්ට නිවැරදි මඟපෙන්වීමක් සිදු කිරීමෙන් හොඳ රටකට, රැකියාවකට විධිමත් රැකවරණයක් යටතේ යෑමට අවස්ථාව සැලසෙනවා.

එලෙස විධිමත්ව විදේශ රැකියාවලට යන තරුණ ප්‍රජාවට තම ජීවන තත්ත්වය උසස් තැනකට ගෙන ඒමට මෙන්ම අද අප රට මුහුණපා ඇති අර්බුදයෙන් ගොඩගැනීමට දායක වීමට අවස්ථාව ලැබෙනවා.

දේශපාලනඥයන්  හා නිලධාරීන් විදෙස්ගත ශ්‍රමිකයන් අප රටට එවන මුදල් ගසාකනවා, විනාස කරනවා වැනි මතයන් සමහරක් අය පතුරනවා.  එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව ඊට එරෙහිව නැඟී සිටිනවා. එනිසා සියලුම දේශපාලනඥයන් හා නිලධාරීන් තම සමාජ හා වෘත්තීය යුතුකම හා වගකීම නිවැරදිව ඉටු කළ යුතුයි.

මනුෂ නානායක්කාර තරුණ අමාත්‍යවරයා බුද්ධිමතෙක්, මාධ්‍යවේදියකු ලෙස තම සමාජ අද්දැකීම් හරහා ක්‍රියාත්මක කරනා විදේශ රැකියා ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක වන බව අප විශ්වාස කරන්නවා.

මේ දිනවල මම අසනීප තත්ත්වයෙන්  සිටියත් විදෙස් රැකියා ස½දහා යෑමට අපේක්ෂා කරනා තරුණ පරපුරට මඟපෙන්වන මෙම අවස්ථාවට සහභාගි වූයේ එම තරුණ ප්‍රජාවගේ මෙන්ම අප රටේ ප්‍රගමනය සඳහා දායකත්වය දෙන මෙවැනි වැඩසටහන් සඳහා වැඩිහිටි අප සහයෝගය ලබාදීමට කටයුතු කළ යුතු නිසයි. 

එහිදී අදහස් දැක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පැස්කුවල්,

අප නිවැරදිව විධිමත්ව කටයුතු කිරීම හරහා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් අප රටට ලැබෙනා විදේශ විනිමය මේ තරුණ සහෝදර සහෝදරියන්ගේ ජීවන තත්ත්වය උසස් තැනකට ඔසවාලීමට හැකිවන අතරම වත්මන් මූල්‍ය අර්බුදයට ද විසඳුමක් වනවා.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණයන් මත තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාදීම,  දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවීම මෙන්ම විශ්‍රාම වැටුපක් ලබාදීම වැනි  වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මා ⁣විදෙස්ගත වීමට අපේක්ෂා කරනා තරුණ ප්‍රජාවෙන්  ඉල්ලා සිටින්නේ තමන් විදෙස්ගතව උපයන මුදල් මහා විශාල නිවෙසක් තනාගැනීම වැනි දෙයක් සඳහා උපයෝගී කර නොගෙන තවදුරටත් එම මුදල් උපයෝගී කර සාර්ථක නිෂ්පාදන හෝ සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය කර සාර්ථක ව්‍යවසායකයකු බවට පත්ව ඔබට උසස් ජීවන තත්ත්වයක් මෙන්ම අප රටේ දියුණුවට දායක වන  ලෙස යැයිද අනුප පැස්කුවල් මහතා වැඩිදුරටත් පැවැසීය.   

ඉත්තෑපාන _ කුමාර ගම්මැද්ද