විශිෂ්ටතම රාජ්‍ය වෙබ් අඩවි අතරට ගිය හොරණ ප්‍රා. සභා වෙබ් අඩවිය

0
28

රාජ්‍ය ආයතනයක සේවයකු විසින් සිය ආයතනය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් ශ්‍රී  ලංකාවේ විශිෂ්ටතම රාජ්‍ය වෙබ් අඩවි අතරට තේරී පත්වීමේ සුවිශේෂී පුවතක් හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ.

හොරණ ප්‍රාදේශීය සභාව විසින් පසුගියදා මෙම ජයග්‍රහණය හිමි කර ගත් අතර ප්‍රාදේශීය සභා වෙබ් අඩවියක් මෙලෙස විශිෂ්ටතම රාජ්‍ය වෙබ් අඩවි අතරට එක්වීමේ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව වසරේ හොඳම වෙබ් අඩවිය තේරීම නිමිත්තෙන් එල්.කේ. ඩොමේන් රෙජිස්ටි්‍ර විසින් වාර්ෂිකව පවත්වනු ලබන බෙස්ට් වෙබ්. එල්.කේ. (Bestweb.lk) තරගාවලියේ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතර තරගයෙන් හොරණ ප්‍රාදේශීය සභාවට මෙම ජයග්‍රහණය හිමි වී තිබේ.

හොරණ ප්‍රාදේශීය සභාවට අනුබද්ධව සේවයේ නියුතු ඉංගිරියේ පදිංචි එරංග නිලූක පීරිස් මහතා මෙම වෙබ් අඩවියෙහි නිර්මාතෘ වන අතර, තම සේවා ආයතනය වෙනුවෙන් සිය දැනුම සහ කුසලතා උපයෝගි කර ගනිමින් ඔහු විසින් මෙය නිර්මාණය කර ඇත.

ජයග්‍රාහකයන් තෝරාගැනීමේ නිර්ණායකයන් අනුව මෙම තරග කාණ්ඩයේ රන් පදක්කම ශ්‍රී  ලංකා පොල් පර්යේෂණ ආයතනය විසිනුත් ලෝකඩ පදක්කම් ශ්‍රී  ලංකා නාවික හමුදාව සහ ශ්‍රී  ලංකා යුද හමුදාවේ වෙබ් අඩවි විසිනුත් දිනාගත් අතර කුසලතා සම්මාන ලැබූ අනෙකුත් වෙබ් අඩවි පහ අතරට හොරණ ප්‍රාදේශීය සභා වෙබ් අඩවියද එක්ව ඇත. 

ඉංගිරිය _ එන්. පී. කහවල