වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ට රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය

0
25

ඓතිහාසික බළන්ගොඩ කූරගල රජමහ විහාරාධිපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහලගල රජමහ විහාරාධිකාරි කර්මාචාර්ය පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක සංඝ සභාව මඟින් රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය පෙරේදා (14දා) පස්වරුවේ අස්ගිරි මහා විහාර මංගල උපෝසථාගාරයේදී සිදු කෙරිණි.

අදාළ පදවිය උන්වහන්සේට පිරිනැමීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරතන නාහිමියන් කළ යෝජනාව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියන් විසින් ස්ථිර කරනු ලැබ අස්ගිරි මහා විහාර කාරක සංඝ සභවේ ඒකමතික අනුමත කිරීමට අනුව සිදුව ඇත.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඤාණරතන මහනාහිමි, අනුනායක හිමිවරුන් වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී, ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද යන නාහිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව, මල්වතු මහා විහාර අනු නායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ ශ්‍රී  විජිතසිරි, පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී  විමලධම්ම, ලේඛකාධිකාරි පූජ්‍ය පහමුණේ ශ්‍රී  සුමංගල නාහිමිවරු ප්‍රමුඛ මල්වතු මහ විහාර විංශත් වර්ගික කාරක සංඝ සභාවේ නාහිමිවරු අස්ගිරි මහ විහාරීය මංගල උපෝසථාගාරයට රැස්ව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන් වෙත පිරිනැමීම සිදු කළේ ධර්ම කීර්ති ශ්‍රී  මංගල ගෞරව නාමයද සමඟිනි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැඟීමෙන් නොනැවතී වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ඓතිහාසික කූරගල රජමහ විහාරය සංවර්ධනය කරමින් සබරගමු පළාතේ ශාසනෝද්දීපනය උදෙසා සුවිශාල මෙහෙවරක් සිදු කරමින් සිටින බව මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවැසූහ.

මෙම අවස්ථාවට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රමුඛ සිවු මහා දේවාල බස්නායක නිලමේවරු, ආදිවාසි නායක උෟරුවරිගෙ වන්නියලැත්තෝ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ගිහි – පැවිදි ආරාධිත පිරිසක් සහභාගිව සිටියහ.

අස්ගිරි මහ නාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී  ඥානරතන නාහිමිපාණන් වහන්සේ විසින් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමි වෙත රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ සන්නස් පත්‍රය භාරදීම ඡායාරූපයේ දැක්වේ.

මහනුවර – කේ.එල්. සුරවීර