ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 2000ක්

0
59

ශ්‍රී  ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති නමුත් වසරකට මෙරටින් ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බව අනාවරණය වෙයි.

මෙම වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ මෙවැනි රෝගීන් 387 දෙනකු ජාතික ලාදුරු මර්දන ඒකකය මඟින් හඳුනාගෙන තිබේ.

එසේ හඳුනා ගන්නා රෝගීන්ගෙන් සියයට 10ත් 12ත් අතර සංඛ්‍යාවක් වසර 17ට අඩු කුඩා දරුවන් බවද ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවැසීය.

කුඩා දරුවන් තුළ මෙවැනි රෝග ලක්ෂණ තිබීම ලාදුරු රෝගය සමාජය තුළ බහුලව පැතිර යන බවට ඇඟවෙන සාධකයක් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙම රෝගය පුද්ගලයකුගේ ස්නායුවලට බලපෑම සිදුකරන බවද ඒ තුළින් ඇඟිලි හිරිවැටීම අතපය හිරි වැටීම වැනි ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද ඒ මහතා පැවැසීය.

ලාදුරු විසබීජයක් ශරීරගතවී වසර 15ක් පමණ ගෙවී ගිය පසු රෝග ලක්ෂණ පහළ වන බවද කිසියම් පුද්ගලයකුගේ ශරීරය තුළ පැහැයෙන් අඩු කුඩා ලප වැනි ලක්ෂණ තිබේ නම් වහාම ළඟම තිබෙන චර්ම රෝග සායනයක් වෙත යොමු වෙන ලෙසද ඒ මහතා සඳහන් කළේය. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා නිශ්චිත ප්‍රතිකාර මෙරට තුළ ඇති බවත් ඒ සඳහා සතියක කාලයක් නියමිත ප්‍රතිකාර ලබාගැනීම තුළින්  රෝගය තව කෙනකුට පැතිරී යෑම වළක්වා ගැනීමට හැකිවන බවද වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත