රිවෝල්වරයක් හා කිණිස්සක් සමඟ හිටපු පොලිස් නිලධාරියෙක් දැලේ

0
24

මහරගම පොලිස් වසමේ පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේදී පුද්ගලයකු රිවෝල්වරයක් හා තියුණු ආයුධයක්  සහිතව යතුරුපැදියකින් ගමන් කරනා බවට මහරගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත හදිසි මාර්ග සෝදිසි ස්ථානයක් පනවා යතුරුපැදියේ ගමන් කරමින් සිටි සැකකරු පිස්තෝලය හා ජීව උණ්ඩ මෙන්ම කිණිස්සක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවැසීය.

මේ දිනවලදී රට තුළ විවිධ ප්‍රදේශයන්ගෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ඉතා සෝදිසියෙන් සහ පරීක්ෂණ පවත්වමින් සිටි අවස්ථාවකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.

මෙම පිස්තෝලය මෙරට හෝ පිටරට නිෂ්පාදනය කළ එකක්ද යන වග මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වූ බවත් එය සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු කරන බවත් පොලිසිය පවසයි.

මෙම පිස්තෝලය අඟල් 5ක් පමණ දිගින් යුක්ත වන බවත් රිවෝල්වර ගිනි අවියකට සමාන එකක් බවත් සැකකරු සන්තකයේ තිබී මෙම පිස්තෝලයට යොදන ජීව උණ්ඩ 05ක් සහ මිලිමීටර් 09 වර්ගයේ මෙම පිස්තෝලයටම යෙදිය හැකි ජීව උණ්ඩ තුනක්, අඟල් 8 1/2 පමණ දිගැති තියුණු ලෙස කැපෙන කිණිස්සක්, ජංගම දුරකථන තුනක්, ව්‍යාජ අයුරින් සකසන ලද ජාතික හැ¾දුනුම්පතක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවැසීය.

සැකකාර පුද්ගලයා 61 වැනි වියේ පසුවන බවත් 1987 වසරේදී උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට බැඳී 1990 වර්ෂයේදී අසනීප හේතු මත පොලිස් සේවයෙන් ඉවත් වූ අයෙක් බවත් කළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලිසිය පැවැසීය.

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමාගේ ආරක්ෂාව සඳහා මෙම රිවෝල්වරය සහ කිණිස්ස තබාගත් බවත් වසර කිහිපයකට පෙර මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙය මිලදී ගත් බවත් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

මෙම පිස්තෝලය භාවිත කර යම් අපරාධයක් කර ඇද්ද යන වග සෙවීම සඳහාද පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ඒ.එල්.කේ. සියඹලාගොඩ, පොලිස් සැරයන් සුරංජිත් (43672), කමල්සිරි (50007), සුගතදාස (18478), ලක්ෂාන් (84742), සමරසිංහ (9252), රත්නායක (71021), එරංග (88199), සුබෝධ (84142), කාන්තා පොලිස් සැරයන් දීපානි (5497) යන නිලධාරීහු කරති.

බොරලැස්ගමුව – නිඳුවර අබේසිංහ