රාජපක්ෂලා රකින්න පොරොන්දු වුණා නම් අද ජනාධිපති මමයි

0
37

රාජපක්ෂලා ළඟට ගිහිල්ලා වැඳවැටිලා රාජපක්ෂ පරපුර සහ පවුල් සංහතියම මම මගේ ජීවිත කාලය පුරාවටම  සුරකිනවායි කිව්වා නම්, අද මමත් ජනාධිපති යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පැල්මඬුල්ල ප්‍රදේශයේ ඊයේ (15දා) පැවැති ආසන බල මණ්ඩල රැස්වීමේදී ඔහු මෙසේ කීය. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. ඔබ සියලු දෙනාටම මතක ඇති එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අසූව දශකයේ අග භාගයේ, 90 දශකයේ මුල් භාගයේ රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා, දරු පරපුර ගැන හිතලා, මතු පරපුර ගැන හිතලා දුරදක්නා නුවණින් ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන ආරම්භ කළා.  ඒ තමයි අද හැමෝම මන්තරයක් වගේ ජප කරන අපනයනය කේන්ද්‍රිය  සංවර්ධනය.

අද හැමෝම කතා කරනවා ඒක ගැන. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒක කතා කරේ 1989-89 ආරම්භ කරපු වැඩසටහන නොකඩවාම ඉදිරියට ගෙනිච්චා නම් ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොවෙයි අපනයන කේන්ද්‍රීය සංවර්ධන රටාව විවිධ පියවරවල් තුළ ඉදිරියට ගෙනිච්චා නම් සුපුරුදු දේශපාලන කුහකකම පාවිච්චි කරලා මේක ප්‍රේමදාසගේ වැඩක් ඒ නිසා මේවා අපි ගණන් ගන්න ඕන නැහැයි කියන ඒ දේශපාලන කුහකත්වය ඉවත දමලා රට ගැන හිතලා එදා පටන් බිහිවුණු නායකයෝ සියලු දෙනාම කටයුතු කළා නම් අද මේ මහා ආර්ථික, දේශපාලනික, සාමාජික ප්‍රපාතයේ අපි ඇද වැටෙන්නේ නැහැ.

අද දවසේ අපි රටට ලබාදෙන වැඩපිළිවෙළ මොකක්ද? දර්ශනය මොකක්ද? රට ඉදිරියට ගෙන යන මාර්ග සිතියම?  තාක්ෂණික දියුණුව කරා අපි යන්නට ඕනේ. හැම ක්ෂේත්‍රයකම තාක්ෂණික පැත්ත දියුණු කරන්නට ඕනේ. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හෝ වේවා, වෙනත් කුඩා හා මධ්‍ය  පරිමාණයේ කර්මාන්ත හෝ වේවා, තේ කර්මාන්තය හෝ වේවා, වෙනත් වැවිලි කර්මාන්තය හෝ වේවා, වී වගාව හෝ වේවා, අපනයන බෝග වගාව හෝ වේවා, ධීවර ක්ෂේත්‍රය හෝ වේවා මේ හැම ක්ෂේත්‍රයකම තාක්ෂණික ඉදිරි පිම්මක් අපි පනින්නට ඕනි. තාක්ෂණික දියුණුවක් අපි ක්‍රියාත්මක කරන්නට ඕනි. කෘත්‍රිම බුද්ධිය, නව තාක්ෂණය,  ජීව තාක්ෂණය, artificial intelligence biotechnology කියලා කියනවා. Aughtmental riyality කියලා කියනවා. මේවා කියනකොට අපේ රටේ බොහෝ දෙනාට මේවා තේරෙන්නේ නැහැ. කොහොමද තේරෙන්නේ නැත්තේ. අපේ රටේ පාසල් පද්ධතියේ පන්ති කාමර කීයක් තියෙනවද?

smart boards පන්ති කාමර කීයක තියෙනවද? සුහුරු පුවරු, පාසල් කීයක තියෙනවද ප්‍රමාණවත් පරිගණක යන්ත්‍ර පාසල් කීයක තියෙනවද?  අන්තර්ජාල ප්‍රවේශය internet access එක,  ලොකුවට කතා කරනවා විපක්ෂයේ ඉන්න කොට fiber optics ගේනවාලු. 3G, 4G, 5G මුළු රටේම ව්‍යාප්ත කරනවලු. wifi නගර බිහි කරනවලු. ඔක්කොම කටින් බතල හිටවීම පමණයි. අපි ඔබලාට ලබා දෙන බලාපොරොත්තුව මෙන්න මේකයි. එදා දුරදක්නා නුවණින්  රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ මේ රටට ඩොලර් ගෙන එන, ඩොලර් ආදායම ලබන ඒ අපනයන කේන්ද්‍රීය සංවර්ධනය ක්‍රියාත්මක කළා සේම අපේ පක්ෂය, අපේ කණ්ඩායම, අපේ සන්ධානය මේ රටේ තාක්ෂණ විප්ලවය මහ පොළොවේ ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර අරගෙන අපේ රටේ අද දවසේ තිබෙන තොරතුරු තාක්ෂණ අපනයනය, ඇමරිකානු ඩොලර් බිලියන 1.2ට තිබෙන ඒ අපනයනය ඩොලර් බිලියන 5 දක්වා වැඩි කරන්නට අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවා යි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව, අපේ රටේ අපි වැඩිදියුණු කරන්නට ඕනේ. ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මේ රටේ හතළිස් තුන් ලක්ෂයක් දූ දරුවන්ට ලබා දෙන්නට ඕනි. දැන් ඔය සිංහල පමණයි කියලා ඒ නිර්මාණය කරපු ජාතිවාදය තුළින් රට ඉහළට යන්නේ නැහැ. අපිට හැමදාම පුළුවන් සිංහල පමණයි කිය කිය අර 56 ඉඳලා ඒ ගහපු සෙල්ලම නිසා අද ඇත්ත තත්ත්වෙ මොකක්ද?

ජාත්‍යන්තරයත් එක්ක සංසන්දනය කරනකොට අපේ රටේ අධ්‍යාපන පද්ධතිය කඩා වැටිලා ගරා වැටිලා. සිංහල පමණයි කියන එකෙන් රටට සෙතක් වෙන්නෙත් නැහැ. දූ දරු පරපුරට සෙතක් වෙන්නෙත් නැහැ. තරුණ පරපුරට සෙතක් වෙන්නෙත් නැහැ.  අපි හැමෝම සූදානම් වෙමු අධ්‍යාපනයේ දැවැන්ත විප්ලවයක් ක්‍රියාත්මක කරන්න. මේ දැවැන්ත විප්ලවය තුළ මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ ආර්ථික අහේනියට ලක් නොවන ආකාරයේ අපිට ප්‍රෞඪ ශ්‍රී  ලාංකිකයන් කොන්ද කෙළින් තියාගෙන කශේරුකාව කෙළින් තියාගෙන නැඟී සිටින්න පුළුවන් අභිමානවත් රටක් නිර්මාණය කිරීමට ඔබ අප සියලු දෙනාම අත්වැල් බැඳගමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

  සමහරෙක් කියනවා රනිල් වික්‍රමසිංහ වැඩ්ඩෙක්. මොකක්ද හේතුව? හේතුව වෙන මොනවත් නෙමෙයි, කොළඹ දිස්ත්‍රික්කයේ කොච්චර පැරදුණාද කිව්වොත් මනාප ටිකවත් ගණන් කරේ නැහැ. ඒ තරමටම පැරදුණා. මගේ මතකය හැටියට තිස්දාහකට කිට්ටු වෙන්ට හෝ ඒ ගණන් අතර තමයි ඡන්ද ටික ලැබුණේ. නමුත් රටෙන්ම ලැබුණු ඡන්ද නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ අගමැති වුණා. ඊට පස්සේ ජනාධිපති වුණා. ඒ වුණ ක්‍රමවේදය අපිත් ප්‍රශ්න කරන්නෙ නෑ. මොකද ඒක ව්‍යවස්ථානුකූලවයි සිද්ධ වුණේ.

සමහරෙක් මගෙන් අහනවා බලන්නකො ගිය පාර බින්දුවටම බැහැලා ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ඇවිල්ලා රටේ ජනාධිපතිකම දක්වා ගියා නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මමත් එකඟ වුණා නම් රාජපක්ෂ හොරු රැළ, රාජපක්ෂ හොර පවුල් ගහ රැකගන්නවායි කියලා, මමත් පොරොන්දු දුන්නා නම්  පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට අද මටත් තිබුණා මේ පැල්මඬුල්ලට ඇවිල්ලා ජනාධිපති හැටියට, තමුන්නාන්සේලා ආමන්ත්‍රණය කරන්න. මට මෙහෙම ජනතාව අතරට යන්න බැහැ. ඇයි? තමුන්නාන්සේලා මාව පන්නල දාන්නෙ ගල් ගහලා.  ඒ මොකද ප්‍රතිපත්තිගරුක නොවීම නිසා. එදත් අපි කියෙව්වා රාජපක්ෂලා රට කනවා. රාජපක්ෂලා ඡන්දයෙන් ඉවත් කරන්න කියලා. නමුත් රටේ ජනතාව තෝරාගත්තේ වැරදි මාවතක්.

නිවැරදි මාවත නෙමෙයි. නමුත් දැන් ජනතාවට අවස්ථාවක් එළැඹෙනවා වැරදි මාවතේ ගිය ගමන, වැරදි මාවතේ අදටත් යන ගමන, ඇයි මේ අදටත් වැරදි මාවතේ යන ගමන කියන්නේ, වර්තමාන ජනාධිපතිවරයා පත් වුණේ කාගේ වරමින්ද? රාජපක්ෂ පොහොට්ටු සමාගමෙන්, රාජපක්ෂ පොහොට්ටු සමාගම තමයි මේ ජනාධිපතිවරයා පත් කළේ. සජිත් ප්‍රේමදාසටත් තිබුණා රාජපක්ෂලා ළඟට ගිහිල්ලා වැඳවැටිලා පොරොන්දු වෙන්න රාජපක්ෂ පරපුර සහ පවුල් සංහතියම මම මගේ ජීවිත කාලය පුරාවටම සු‍රකිනවා, සුරකිනවා, සුරකිනවායි කිව්වා නම් අද මමත් ජනාධිපති. එහෙම තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් වෙන්නට මේ සජිත් ප්‍රේමදාස කිසිදාක කටයුතු කරන්නේ නැහැ. කිසිදාක කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ එන ගමනට අපි ශක්තිය ලබා දෙන්න සූදානම්.

නිර්මාණි ගුණරත්න