මිතුරකු ඝාතනය කර මාස 3ක් සැඟවී සිටි සැකකරු අත්අඩංගුවේ

0
13

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මාස තුනක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු කිරිඇල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඇල්ල පොලිස් වසමේ ඇල්ලගාව, කළුවාවලතැන්න පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය මැයි මස 8 වැනිදා සැකකරු සහ ඔහුගේ මිතුරකු අතර වූ බහින් බස්වීමකින් පසු සැකකරු කළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ මිතුරා ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත. පසුව හොරණ රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව පසු දින (මැයි 9දා) මෙම පුද්ගලයා නාගොඩ රෝහලේදී මරණයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ ජේ.එම්. රාජා පුෂ්පකුමාර නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි. සිය මිතුරාගේ මරණය සැලවීමත් සමඟ අතුරුදන් වූ සැකකරු තෙමසක් පුරා විවිධ ප්‍රදේශවල සැරසරමින් සැඟව සිට ඇත. පසුගියදා ඔහු නැවත තම ගම් ප්‍රදේශයට පැමිණ සිටින බවට කිරිඇල්ල පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියකුට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව ඇල්ල ප්‍රදේශයේ කළ සෝදිසියකදී සැකකරු පලා යෑමට උත්සාහ දරා තිබේ. තොරතුරු ලද පොලිස් නිලධාරියාම සැකකරු පසුපස ලුහුබැඳ ගොස් මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන ඇත.

කිරිඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැලිකලගේ පෙරේරා මහතාගේ මෙහෙයවීම මත, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්ප රීක්ෂක වයි.ඩී.ඩී. එස්. දිසානායක, සැරයන්වරුන් වන නිශාන්ත (37157) සහ පුෂ්පකුමාර (42976) සහ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ඉංගිරිය _ එන්.පී. කහවල