මැටරඹ කපුවා අත්අඩංගුවෙන් බේරෙන්න කෝටි 10ක අල්ලසක් දෙන්න හදලා

0
62

බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උණවටුන මැටරඹ සතර මහ දේවාලයේ දේවගැති කපුවා අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් කෝටි දහයක මුදලක් ලබාදීමට උත්සාහ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙවන් විශාල මුදලක් අල්ලස් ලෙස දීමටත් යානවාහන, ගොඩනැඟිලි නිවාස රාශියක් සන්තකයේ තබාගෙන රුපියල් ලක්ෂ කෝටි ගණන් මුදල් වියදම් කිරීමට මොහුට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්න සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවද එම ජේ‍යෂ්ඨ නිලධාරියා අවධාරණය කළේය.

අල්ලසට හෝ බලපෑම්වලට යට නොවී රහස් පොලිසිය ක්‍රියාකළ ආකාරය ඉතා පැසසුම් සහගත බවත් සැකකාර දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පිළිබඳ විවිධ තොරතුරු සහ ඔහු රහසිගතව උපයා ඇති වත්කම් පිළිබඳ මහජනයා දිගින් දිගටම තොරතුරු ලබා දෙන බවත් මෙතෙක් කල් ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්ට බියෙන් බොහෝ පිරිස් තොරතුරු ලබානොදී ඇති බවද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම මේ වන විට සැකකාර දේවගැති කපුවා පරිහරණය කළ ජංගම දුරකථන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති අතර ඩිජිටල් වෝහාරික පරිගණක කොට්ඨාසය විසින් එම දුරකථනවල දත්ත නිරීක්ෂණය කරමින් සිටින අතර එම දත්තවලට අනුව ඔහු සමඟ සබඳකම් පැවැත්වූ උසස් පොලිස් නිලධාරීන් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට හැකි බවද ඔහු පවසා සිටියේය.

මාස ගණනක දත්ත මේ අනුව ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ගාල්ල ආශ්‍රිතව රාජකාරි කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් මෙන්ම කලක් ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කොට මාරුවීම් සහ උසස්වීම් ලැබ එම කොට්ඨාසයෙන් වෙනත් ප්‍රදේශවලට මාරුවීම් ලැබූ නිලධාරීන්ද ඒ අතර සිටින බවට සැක කෙරේ.

එමෙන්ම කලක් තිස්සේ මෙම දේවාලයට පොලිසියේ ආරක්ෂාව ලබාදී ඇති බවද වාර්තා වන අතර කිසිදු හේතුවක් නොමැතිව මෙලෙස ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කෙරේ.

එමෙන්ම මෙම සැකකරු විසින් කොළඹ ප්‍රදේශයේ මිලදී ගෙන ඇති සුපිරි මහල් නිවාස කිහිපයක් සම්බන්ධයෙන් මහජන තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනය කරන බවත් එලෙස නිවාස මිලදී ගැනීමට මොහුට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ කෙසේද යන්නත් මොහු විදේශ රටවල පුද්ගලයන් සමඟ කළ ගනුදෙනු සම්බන්ධයෙන්ද සොයා බලන බවද හෙතෙම කීවේය.

එමෙන්ම එක්තරා පොලිස් ලොක්කකු මෙය මාධ්‍යයෙන් වසන් කරන්නට දැඩි උත්සාහයක් ගත්තද මාධ්‍ය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා පළකිරීම නිසා මහජන තොරතුරු ලැබීමට පටන් ගත් බවත් ඒ නිසා සියලු මාධ්‍යවලට තම ස්තුතිය පළකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

කීර්ති මෙන්ඩිස්