මාස දෙකකින් තෙල් නැතිව උතුරේ ධීවරයෝ අනාථයි

0
20

උතුරේ ධීවරයන්ගේ ධීවර යාත්‍රාවලට අවශ්‍ය භූමිතෙල් ඇතුළු ඉන්ධන විධිමත්ව නොලැබීමෙන් මාස දෙකකට අධික කාලයක් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් ධීවර පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටින බවට උතුරේ ධීවර සංගම් පෙන්වා දෙයි.

උතුරේ ධීවර කටයුතු වැඩි වශයෙන් කෙරෙන යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජීවත් වන ධීවරයෝ මාස දෙකකට අධික කාලයක් ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ පා සිටිති.

එමෙන්ම ධීවරයන් මුහුදු ගමන් නොයෑම හේතුවෙන් උතුරේ මාළු මිල ගණන් අධික ලෙසින් ඉහළ ගොස් ඇති අතර එහිදී කුට්ටි මාළු (තලපත්, තෝරා, මෝරා, කෙළවල්ලා, බලයා) ආදී මත්ස්‍ය කිලෝව රුපියල් 2500කට ආසන්න මිලකට අලෙවිවීම හේතුවෙන් පාරිභෝගිකයෝද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

මේ අතර ඇතැම් කූට ජාවාරම්හි නිරත වන පුද්ගලයන් විසින් ඉන්ධන අධික මිල ගණන්වලට ධීවරයන්ට විකිණීම හේතුවෙන්ද මාළු මිල ගණන් ඉහළ යෑමට දැඩි ලෙස බලපා ඇතැයිද උතුරේ ධීවරයෝ පෙන්වා දෙති.

මේ අතර උතුරේ ධීවරයන් බොහෝ පිරිසකට මුහුදු යෑමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ දෛනික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබීම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තය නඟා සිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙසටද උතුරේ ධීවර සංගම් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මුලතිව් – ශෂි කුමාර්