මන්කිපොක්ස් හඳුනාගන්න උපදෙස්

0
15

මෙරට සෞඛ්‍ය අංශ  “මන්කිපොක්ස්” යැයි සැකසහිත රෝගීන් හ¾දුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. පසුගියදා ආරම්භ කළ එම රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණවලට සමගාමීව මේ මාර්ගෝපදේශ නිකුත් කර ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි, එක්වරම හටගත් සමේ කුෂ්ට තත්ත්වයක් සමඟ, හිසරදය, එක්වරම හටගත් උණ, වසාගැටිති ඉදිමුම, මස්පිඬු වේදනාව, කොන්දේ වේදනාව, තදබල තෙහෙට්ටු ස්වභාවය ආදී රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම තැනැත්තා “මන්කිපොක්ස්” ආසාදිතයකු යැයි සැක කළ හැකි අයකු ලෙස සැලකෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් (අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක මේ හා සමාන රෝග ලක්ෂණ දක්නට ලැබෙන නිසා රෝග ලක්ෂණ පෙන්වූ පමණින්ම “මන්කිපොක්ස්” ආසාදිතයෙක් බවට සැක නොකොට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු බවද එම කාර්යාංශය දක්වා ඇත.

එමෙන්ම “මන්කි පොක්ස්” යැයි තහවුරු කළ රෝගියෙක් සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ රෝග ලක්ෂණ හට ගැනීමට දින 21ක් ඇතුළත, නාඳුනන අයකු සමඟ හෝ එක් අයකුට වැඩි දෙනකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මන්කිපොක්ස් වයිරසය අයත් වයිරස කාණ්ඩයට අදාළ ප්‍රතිඵල ලැබේ නම් ඔහු හෝ ඇය, “මන්කිපොක්ස්” ආසාදිතයකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙන බවද එම කාර්යාංශය පෙන්වා දී තිබේ.

මේ වනවිට නිශ්චිතවම  “මන්කිපොක්ස් රෝගියකු” බවට තහවුරු කළ හැක්කේ සමෙහි ඇති වූ තුවාලවල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මුල්ම රෝග ලක්ෂණය හට ගත් දිනයේ පටන් තුවාල වියළී, කබොලු සියල්ලම හැලී යන තුරු “මන්කිපොක්ස්” රෝගියකු වාහකයෙක් විය හැකි යැයිද ඔවුහු පවසති.රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන ආශ්‍රිතයන්, සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව දින 21ක්  ගතවන තුරු පරීක්ෂාවෙන් පසු විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

යම් හෙයකින් එම කාලය අතරතුර රෝග ලක්ෂණ එකක් හෝ හටගතහොත් වහාම අන් අයගෙන් වෙන් වී වෛද්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු යැයිද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබේ.

සවනි ශේශාධි