මදුවලට හසුවී කඳුකර කොටි 25ක් මියගිහින්

0
29

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ කඳුකර කොටි 25 දෙනකු පමණ මදුවලට හසුවී ජීවිතක්ෂයට. පත් වූ බවත් එම මරණවලට හේතුව සතුන් මුදා ගැනීම ප්‍රමාදවීම බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (15දා) ‘මව්බිම’ට පැවැසීය.

මදුවලට හසු වූ බොහොමයක් කොටි මුදාගෙන තිබෙන්නේ අනුමාන වශයෙන් මද්දට හසු වී පැය 15ක පමණ කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව බව හෙතෙම සඳහන් කරයි.

දීර්ඝ වේලාවක් මද්දට තදින් තෙරපීම නිසා සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවන තුවාල සහ සතාට ඇතිවන මානසික ආතතිය හේතුවෙන් සිරුරේ සිදුවන රසායනික වෙනස්වීම් නිසා ඇතිවන ඉන්ද්‍රීය අකර්මණ්‍යතාවන් මෙම මරණවලට හේතුවන බව වනජීවී පශු වෛද්‍යවරු පවසති.

වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොසිටීම, වනජීවී පශු වෛද්‍ය කාර්යාල අදාළ කලාපය තුළ මධ්‍යගතව පිහිටා නොතිබීම, ප්‍රමාණවත් ඉන්ධන කෝටාවක් නොලැබීම, වනජීවී පශු වෛද්‍යවරු ඇතුළු නිර්වින්ද කාර්ය මණ්ඩලයේ පැමිණීමේ ප්‍රමාදයට හේතු වී ඇත. එමෙන්ම ක්‍ෂේත්‍ර වනජීවී නිලධාරීන්ගේ හිඟය සහ ඔවුන්ට අවශ්‍යවන මුදාගැනීමේ ආම්පන්න ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නොවීම මදුවලට හසුවන කොටි මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමට හේතු වී තිබේ.

මේ පිළිබඳව විමසීමට අප වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සම්බන්ධ කර ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

සපුමල් ජයසේන