බ්ලොක් ගලත් රු.100ට නඟී

0
19

ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල විදුලි බිලෙහි වැඩිවීමත් සමඟ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීම නිසා එක් සිමෙන්ති ගඩොලක මිල රුපියල් 100 දක්වා ඉහළ යෑමේ අවදානම් තත්ත්වයක් මතුව තිබේ. රුපියල් විසි අටක්ව පැවැති බ්ලොක් ගඩොලක මිල ඉන්ධන ගැටලුව ඇතුළු මෙරට ඉදිකිරීම්  ක්‍ෂේත්‍රයට පසුගිය කාලයේ පැනනැඟී තිබූ ගැටලු රැසක්  නිසා රුපියල් 40,50 දක්වා වැඩි වූ බවද ශ්‍රී  ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවැසීය.

මේ අතරතුර සිදුව තිබෙන විදුලි බිල ඉහළ යෑමත් සමඟ ඉදිරි දිනවලදී ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා බ්ලොක් ගලක මිල රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බවද ඔහු පැවැසීය.

විදුලි බිල ඉහළ යෑමත් සමඟ පැන නැඟී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්  ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටී එම ක්‍ෂේත්‍රයෙහි සේවය කරන සේවකයන් පනස් පන් ලක්ෂයක පිරිසකගේ රැකියාවලට මෙන්ම ඔවුන්ගේ ආර්ථිකයට බරපතළ ගැටලුවක් පැන නැඟී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් සියයට 52ක දායකත්වයක් ලැබෙන බවද රජයට ලැබෙන එම ආදායම මෙම ගැටලුකාරී තත්ත්වය යටතේ රජයට අහිමිවනු ඇති බවද ඒ මහතා පැවැසීය.

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය මුහුණපා තිබෙන මෙම බරපතළ ගැටලුව පිළිබඳව පෙන්වාදීම සඳහා ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුවට සහනදායි පිළිතුරක් නොලැබෙන්නේ නම් මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටීම වැළැක්විය නොහැකි බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත