ප්‍රාථමික රැග්වලින් සුපිරි සහෝදරයෙක්  වෙන්න බැහැ

0
73

හෝව් හෝව්, කොහෙද මේ හදිස්සියෙන් යන්නෙ?  කොණ්ඩෙ නෝට් කපන්නද? කිව්ව පාටින් කොණ්ඩ බූලක් එහෙම ගත්තද? බාටා දැම්මා නේද? එහෙනම් දෙයියනේ කියලා යං! නෑ නෑ රැග් කරන්න නෙවෙයි, රැග් ගැන කතා කරන්න. දන්නවනේ ඉතින් මේ දවස්වල රැග් හරි ෆේමස්. සියල්ලට ප්‍රථම අලගිය මුලගිය තැන් වැදගත් කියලා, ඉස්සෙල්ලාම නවක වද ඉතිහාසය දිහාවට හැරුණොත් මේ දවස්වල නොසෑහෙන්න ෆේමස් රැගින් කල්චර් එක ලංකාවට එන්නේ 1940 – 1955 වගේ කාලෙක.

බි්‍රතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනවලට රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙනකොට ඔවුන්ව රාජකීය මට්ටමේ ඉඳන් සාමාන්‍ය මට්ටමට සමානාත්මතාව එක්ක පිළිගන්න පැවතුණ සම්ප්‍රදාය, නැත්තම් Royal Admission Game කියන එකේ මුල අකුරු තුන එකට පූට්ටු කරලා තමයි ඔය RMG කියන වචනේ එළියට එන්නෙ.

බි්‍රතාන්‍යයේ නම් රාජකීයයන්ව සාමාන්‍ය මට්ටමට පිළිගන්න රැග් කළායි කියමුකෝ, ලංකාවෙ සාමාන්‍ය, මධ්‍යම පාන්තික පවුල්වල ඉඳගෙන කට්ට කාලා එක්සෑම් පාස් කරලා විශ්වවිද්‍යාලෙට එන කොල්ලන්ව කෙල්ලන්ව මොකටද රැග් කරන්නෙ? ඔවුන් කොහොමටත් රිදී හැන්ද කටේ ගහන් උපන්න පරම්පරාවක් නෙවෙයි. එහෙව් එකේ රාජකීය උෟෂ්ණයක්? එහෙම එකක් ඕනෙම වගේ නම් අර බකිංහැම් පැලස් එකේ ඉන්න ජේත්තුකාර නෝනා මහත්මියගෙන් ණයට තමයි ඉල්ලගන්න වෙන්නේ.

සාමාන්‍යයෙන් වසරකට උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙන ලක්ෂ තුනකට ආසන්න සිසුන්ගෙන් රජයේ විශ්වවිද්‍යාල දහසයෙන් එකකට ඇතුළුවීමේ චාන්ස් එක ලැබෙන්නෙම තිස් දාහකට ආසන්න ඉතාම සුළුතර සංඛ්‍යාවකට විතරයි. 2022 වසරෙ රජයේ විශ්වවිද්‍යාල අටක් යොදාගෙන කරපු සමීක්ෂණයක සංඛ්‍යාලේඛන දත්ත තහවුරු කරන විධියට නවක වදයේ ව්‍යාප්තිය වාචිකව 51%කට අධිකයි, මානසිකව 34%ක්, කායික 24%ක් සහ ලිංගිකව 17%ක්. මේ සියල්ල සිදු වෙන්නේ 1998 අංක 20 දරන, “අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා නැවැත්වීමේ පනත” යටතේ නවක වදය නීතියෙන් තහනම් වෙලා තියෙන පසුබිමක මේ මෑත කාලීන වර්තමානය තුළමයි. ඊයේ පෙරේදාවක “කළ යුතුමයි” කියලා ජේ‍යෂ්ඨ උත්තමයො ටිකක් විසින් නියෝග පනවපු වට්ස් ඇප් චැට් එකක ස්ක්‍රීන්ෂොට් සමාජ මාධ්‍ය ඇතුළේ එහාට මෙහාට පියාඹන්නෙත් ඔය කියන නීති රාමුවට යටත් රජයේ විශ්වවිද්‍යාලයක් ඇතුළෙමයි. ලංකාවෙ ප්‍රධාන සමාජය ඇතුළේ විශ්වවිද්‍යාල කියන වචනයත් එක්ක පවා අවුරුදු ගණනාවක් තිස්සේ එන සහ දැනටත් නඩත්තු වෙමින් තියෙන කෝන්තරයක් නිර්මාණය වෙන්නත් ප්‍රධානවම බලපාන හේතුව නවක වදයේ තියෙන අසාධාරණත්වය, අමානුෂික බව සහ අතාර්කිකභාවයමයි. රැග් නම් කැම්පස් – කැම්පස් නම් රැග් කියලා විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් දිහා ත්‍රස්තවාදියෙක් වගේ වපර ඇහැකින් බලන්න පවා සමාජය පෙලඹෙන්නෙම ඒකයි.

හා හා පුරා කියලා නමෝවිත්තියෙන් විශ්වවිද්‍යාලයට පය තියෙන පළමු වසර විද්‍යාර්ථීන්ට, ජුන්නොන්ට එහෙමත් නැත්නම් ප්‍රෙශීලට ඔවුන්ගේ ජේ‍යෂ්ඨයෝ බැජ් එක, සීනියර්ස්ලා හෙවත් සින්නොන්ගෙන් ඉස්සෙල්ලම ලැබෙන ඉගැන්වීම තමයි “අපි මේ රැග් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ සහෝදරත්වය, සමානාත්මතාව සහ එකමුතුකම ඇති කරන එක” කියන දේ. ඔහොම කියලත් නාහෙට අහන්නෑ වගේ එකක් තියෙනවා නම් ඊළඟට ‍ෙදාරට වඩින්නේ ටිකක් තර්ජනාත්මක තියරියක්. රැග් නොවුණොත් කාඩ් නෑ, පොදු කැන්ටිම පාවිච්චි කරන්න බෑ වගේ තහංචි එක්ක රැග් නොවන කාණ්ඩවලට විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ රඳන්න බැහැ වගේ ආකල්පයක් ඊළඟට ඔළුවට වැටෙනවා. සුමිහිරි කර්ණ රසායන වචනවලින් අමතලා, දිග සායවල්, අත් දිග කමිස ආදී වශයෙන් ඩේ‍රස් කෝඩ් නියම කරලා, බය කරලා බැජ් ෆිට් එකක් හදලා සමානාත්මතාව ගොඩනඟන්න පුළුවන් වගේ ප්‍රාථමික තියරියක් වෙනුවෙන් ඔබ තවමත් හිටගන්නවා නම්, පෙනී ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එතන තියෙන්නේ ඔබේ තාර්කික චින්තනයේ ලොකු ගැටලුවක් . බල කිරීමෙන් සහ බය කිරීමෙන් ලෝකයට නිර්මාණය වෙන්නේ හැමදේටම එහෙයි කියන ජාතියේ කිසිම සබුද්ධික සවිඥානිකත්වයක් නැති අතාර්කික වහලෙක් විතරයි . ඒක හරියට චූටි දම් වැලකින් බැඳලා දාපු සද්දන්ත අලියෙක් වගෙයි. උෟ දම්වැල නොකඩන්නේ තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් හෝ තාර්කික බවක් නැති නිසා මිස දම්වැල කඩලා දාන්න බැරිකමක් නිසාවෙන් නෙවෙයි.

මනුස්සයෙක්ගේ අඳින විධිය, හෙයාර් ස්ටයිල් එක හෝ කොණ්ඩ බූලේ පාට, දාන්න ඕනේ බාටාද, ඩෙක් ෂූස්ද කියන එක, ඔහු හෝ ඇය දරන සමාජ මතය තීරණය කරන්න, ඒ වෙනුවෙන් නියෝග නිකුත් කිරීමේ අයිතියක් කිසිවකුට නැහැ. ඒක හැම කෙනකුගේම පෞද්ගලික නිදහස. රැග් එකෙන් ඔබ බලාපොරොත්තු වෙනවාය කියන සමානාත්මතාව සහෝදරත්වය නියමාකාරයෙන් රැ‍ෙ¾දන්නෙ අන්න එතන, අනෙකාගේ නිදහසට ගරු කරන තැන. ඒ නිසා රැග්, ඇන්ටි රැග් කියලා පටන් ගැනීමේම බෙදීමක් ඇති කරලා ඩිස්ක්‍රිමිනේෂන් නිර්මාණය කරන සම්ප්‍රදාය ගැන ඔබ පැහැදිලි මනසකින්, දෙවරක් හිතන එකේ ගැටලුවක් නොවේවි. අන්න එතකොට කැම්පස් අල විතරක් නෙවෙයි බතල, කිරි අල, හිඟුරල පවා ඔක්කොම අන්තිමේ කවදහරි ගිහින් වැටෙන්නෙ එක වට්ටියට කියන රියැලිටිය තේරුම් ගන්න එක ගේමක් වෙන්නේ නෑ.

අනෙක් අතට බැජ් ෆිට් එක ඇති කරන මුවාවෙන්, තවත් සහෝදර විද්‍යාර්ථියෙක්ව අපහසුතාවට පත් කරලා, රිදවලා, මානසිකව වට්ටලා, සමාජයක් ඉදිරියේ ලැජ්ජාවට පත් කරලා ඔබ තෘප්තියක් ලබනවා නම් එතනදී ඔබටත් නොදැනීම කවර් වෙන්නෙ, ජීවිතයේ කොහේ හෝ ඔබට ඉතුරු වුණ මොනම විධියේ හෝ ඇරියස් එකක් විතරයි. ඒ වගේම ඔබට නවක වදය, වදයක් විධියට පේන්නෙ ඔබ නවකයෙක් වෙලා ඉන්න තාක් විතරයි නම්, ඔබේ පළමු වසරේදී අකැමැත්තෙන් රැග් වෙලා ඊට පස්සේ එන ඔබේ ජූනියර් බැජ් එකට, අපිත් රැග් වුණා නම් උඹලට බැරි මොකද? වගේ පිටින් පොෂ් ඇතුළ පුස් තියරියක් දාන්න හිතෙනව නම්, එතන ඔබ කවර් කරන්නෙත් ඔබේ පෞද්ගලික ඇරියස් එකක්ම විතරයි. ඒ නිසා කරුණාකරලා ඒක පරපීඩක මානසිකත්වය මිස සහෝදරත්වය හෝ සමානාත්මතාව විධියට වැරදියට අරුත් ගන්වා ගන්න එපා .

කිසිම විද්‍යාර්ථියෙක් තමන්ගෙ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේ කිසිම මොහොතක ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා “අනේ මාව රැග් කරන්නකෝ, රැග් නොවුණොත් හිතට මොකද්ද, මොකද්ද වගේ” කියලා කැමැත්තෙන්ම රැග් වෙන්නෙ නෑ. ඒ නිසා “අයියෝ කැම්පස් යනවා නම් රැග් වෙලා නැතුව වැඩක් නෑ, රැග් නොවෙන්නේ බයගුල්ලො, එකිනෙකාගේ දරා ගැනීම සාපේක්ෂයි ඒ නිසා රැග් එකට බනින්නේ බොළඳ සියුමැලි මල් පෙති විතරයි සහ රැග් එක ගැන කතා කරන්න පුළුවන් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට විතරයි “වගේ ඔය අදහාගෙන ඉන්න සීනිබෝල ලොසින්ජර මතවාද දැන්වත් ඔළුවෙන් බිමින් තියන්න. ඔබත් මාත් මේ ජීවත් වෙන ලෝකය ඇතුළේ එක විනාඩියකට ළමා අපයෝජන ගැණිය නොහැකි තරම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනුවෙන් කතා කිරීමේ, එරෙහි වීමේ අයිතිය තියෙන්නෙත් හිංසනයට ලක් වුණ අයට විතරයිද?

අමානුෂික සහ ප්‍රාථමික රැගින් සම්ප්‍රදායන්ට හුරේ දැමීමෙන් ඔබ නිර්මාණය කරන්නේ සහෝදරත්වය හෝ මානව සංවේදීතාව කියන එක නෙවෙයි. ඔබේ හුරේ දැමීම සදාකාලික මානසික රෝගීන් නිර්මාණය කරනවා, අධ්‍යාපනය හැර යන්න පාර කපනවා, සියදිවි නසාගැනීම්වලට අනුබල දෙනවා. විශ්වවිද්‍යාලයේ කිසිම කෙනෙක්ට අවසන් කටයුතුවලටවත් සහභාගි වෙන්න දෙන්න එපා කියන්න තරම් කලකිරීමක් එක්ක සිය දිවි හානි කරගන්න තරමට අසරණ වෙන විද්‍යාර්ථීන් නිර්මාණය වුණේ ඔබේ ඒ හෙවිල්ලක් බැලිල්ලක් නැති ප්‍රමෝට් කිරීමේ ප්‍රතිඵල විධියට නෙවෙයි කියන්න හදවතට එකඟව ඔබට පුළුවන්ද ? ඒ ජීවිත වෙනුවෙන් වගකීම ගන්න ඔබට පුළුවන්ද? අවුරුදු දහතුනක විධිමත් පාසල් අධ්‍යාපනයක් ඇතුළෙන් නිරායාසයෙන් පැවරෙන එකමුතුකම, බෙදා හදාගැනීම, අනේ‍යාන්‍ය සහයෝගය වගේ දේවල් මාස කිහිපයක් ඇතුළේ තග දාලා අලුතෙන් උගන්වන්න ඕනේ බව ඔබ විශ්වාස කරනවද? සංස්කෘතිය පවරා දීමේ නිවැරදි ක්‍රියා පිළිවෙත එය බව ඔබට තහවුරුද? නෝට් එකට රැවුලයි කොණ්ඩෙයි කපන එකෙන්, සපත්තු නැතුව බාටා දාන එකෙන්, කහ පාටින් කොණ්ඩ බූල් දාන එකෙන් නිදහස සහ සමානාත්මතාව රැකෙන්නේ හෝ එකෙක් වෙනුවෙන් දහයක් හිටගන්න තරමට බලාපොරොත්තු වෙන බැජ් ෆිට් එක නිර්මාණය වෙන්නේ කොහොමද කියන දේ ගැන අවම තාර්කික විග්‍රහයක් ඔබට තියෙනවද? නැත්තම් දැන්වත් අයිස්ක්‍රීමුයි කිරි හොදියි එක පිඟානට බෙදුවා වගේ හැඟීමක් ඔබට දැනෙනවද?

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් කියන්නේ කිසිම මොහොතක සුළු කොට තැකිය යුතු පිරිසක් නෙවෙයි . ඔවුන්ට හැම විටකම සමාජ වගකීමක් සහ ඒ වෙනුවෙන් වගවීමක් අයිතියි. ඉතින් ඔබ බලපොරොත්තු වෙන සමාජ වෙනස ඔබ කරන්නේ කොණ්ඩ බූලෙන් සහ නෝට් එකට කපන කොණ්ඩා රැවුල්වලින්ද? අමතක නොකළ යුතු දේ මේකයි. කොයි උප සංස්කෘතිය තියෙන්නෙත් ප්‍රධාන සමාජ සංස්කෘතියේ උප කුලක විධියට විතරයි. කවදා කොහොම හෝ ඔබට ප්‍රධාන ධාරාව එක්ක මුසු වෙන්න වෙනවා. එදාට ඔබ සමාජය වෙනුවෙන් ඉතුරු කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන වෛරයක්, අප්පිරියාවක්, කලකිරීමක් විතරක් ඉතුරු පරම්පරාවක්ද? කොයිතරම් පිරුවට පේ වෙලා ‍ෙදාවපු කිරි කළයක් වුණත්, ඒකට ගොම බිංදුවකින් මිලි අංශුවක් හරි මික්ස් වෙලා තිබ්බොත් ඒකෙන් වැඩක් තියේවිද? එහෙනම් බේ‍රා්වරුනි, මං ආයෙමත් ඔබට මතක් කරනවා, ලෝකේ පෙරළලා හොයන්න දෙයක් නෑ. තග දාන රැග්වලට දිය යුතු උත්තරේ තියෙන්නේ ඔබ අතේමයි.

ප්‍රහර්ෂි පෙරේරා