ප්‍රතිරූප කුඩුවෙනකොට ජීවිතය පිස්සු නටනවා

0
79

මම කියන කතාව සමහරවිට ඔයාට දිරවන්න පුළුවන්. සමහරවිට දිරවන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මම ඔයාට කියන්නේ “ජීවිතේ කිසිම දවසක පරමාදර්ශ තියාගන්න එපා.”

මම ලොකු වෙහෙසක් දරලා මම කැමැති විධියේ චරිත පස්සෙ පිස්සුවෙන් දුවපු කාලයක් තිබුණා. මම කැමැති විධියෙ පෙනුමක් සහිත සමහර හොලිවුඩ් නළුවන්ව කාලයක් මම පිස්සුවෙන් වගේ ෆලෝ කළා. මම කැමැති විධියෙ දර්ශනයක් තියෙන, ස්වාධීන මතයක් දරන මිනිසුන්ව අනුකරණය කළා. සමහර ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගල චරිත පසුපස දැඩි වුවමනාවෙන් හඹා ගියා. කාලය වේගයෙන් ගත වුණා. සමහරු පරමාදර්ශ ලෙසම ජීවත් වුණා. සමහරු පරමාදර්ශ ලෙසම මියගියා. තවත් සමහරුන්ගේ පරමාදර්ශයන් ඇස්පනාපිටම විනාශ වුණා.

මම කැමැතිම නළුවා දූෂණ නඩුවකට බන්ධනාගාරගත වීම මගේ ජීවිතයට රිදුමක් එකතු කළා. මම අනුකරණය කළ ලොව අංක එකේ ව්‍යාපාරිකයෙක් එක රැයකින් මූල්‍යමය වශයෙන් නන්නත්තාර වීම මා කම්පනයට පත්කළා. සමාජ මාධ්‍ය ජාලාවල විප්ලවීය අදහස් වපුරමින් වෙනස් මතවාදයක් සමාජගත කළ මා ඇලුම්කළ සමාජ ක්‍රියාකරුවෙක් දේශපාලන වාසිය තකා තම අදහස් හිටි හැටියේම වෙනස් කිරීම මා කලකිරීමට පත්කළා. මම බෙහෙවින් ආදරය කළ පෙම්වතුන් දෙපළකගේ ප්‍රේමය හිටිහැටියේම දෙදරා යෑම මා කනස්සල්ලට පත්කළා. සියල්ල වුණාට පස්සේ සතර පෙර නිමිති දැක්කා වගේ හැඟීමකින් මම පෙළෙන්නට පටන්ගත්තා.

පරමාදර්ශී චරිත අනුකරණයත්, අනුගමනයත් කියන දෙකම දුෂ්කරයි, අපහසුයි, වේදනා දනවනසුලුයි, අර්ථ විරහිතයි කියලා මටම හිතෙද්දී අනුකරණයත්, අනුගමනයත් නොකර උන්ව හදාරන එක නුවණට හුරුයි කියලා මහේන්ද්‍ර පෙරේරා දවසක් තේරුම් කළා. ඔහුගේ පැහැදිලි කිරීම, ඔහුගේ හ¾දුන්වාදීම වෙනස් තැනකින් මට හිතන්න අවස්ථාව සැලසුවා. මම කැමැති චරිත, මම කැමැති ප්‍රතිරූප වෙනස් තැනකින් වැලඳගන්න මට අවකාශය විවර කළා.

අනුකරණය කියන්නේ කොහොමත් ෆේල් කන්සෙප්ට් එකක්. අනුකරණය කරද්දි අපි අදාළ චරිතය ඒ විධියටම අපේ ජීවිතයට ආරෝපණය කරගන්න දත කනවා. එයා අඳින විධියට අඳිනවා. එයා හිතන විධියට හිතනවා. එයා දකින විධියට දකිනවා. හැබැයි එතැනදී අපි අපිව අමතක කරනවා. මඟ හරිනවා. ආත්ම ඝාතනය කරනවා. උපතින්ම මිනිහෙක් විධියට අරගෙන එන සුවිශේෂීතාව එහෙම නැත්නම් අපිටම ආවේණික යුනික්නස් එක අපි නැති කරගන්නවා. කොහොම කොයි විධියට ට්‍රයි කළත් තවත් මිනිහෙක්ගෙ කොපියක් අපි තුළ නිර්මාණය කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. අත්ලේ රේඛාවල ඉඳලා මනසේ සියුම් නියුරෝනවලට දැනෙන තේරෙන දේ දක්වා අපි එකිනෙකාට වෙනස්, විවිධත්වයෙන් යුතු ජීවීන් වෙනවා. ඒ විවිධත්වයට, ඒ යුනික්නස් එකට තවත් චරිතයක කොපියක් අලවනවා කියන්නේ, තවත් ප්‍රතිරූපයක පිටපතක් එන්නත් කරනවා කියන්නේ එතැන බිහිවෙන්නම තවත් මිනිසෙක් නෙමෙයි. විකෘතියක්.

ගොඩක් දෙනා අනුකරණයට වඩා අනුගමනය කිරීම හොඳයි කියලා යෝජනා කළාට අනුගමනයත් බොහෝ වෙලාවට සමාජ මට්ටමින් අසාර්ථක ජීවීන් බිහි කරනවා. අපි කෙනෙක්ව අනුගමනය කරන්න පටන්ගත්තම ඔහුගේ සමස්ත ජීවන රටාවට දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුගත වෙනවා. කන බොන විධිය කොහොමද, හොබීස් මොනවද, ලව් ලයිෆ් එක කොහොමද, දේශපාලන මතවාදය මොනවගේ එකක්ද කියන සියල්ල අපි සොයා බලනවා. එහෙම සොයද්දි, එහෙම බලද්දි ඔහුගේ පෞද්ගලිකත්වය අපිට විවර වෙනවා. අපි විවර කරගන්නවා. එතකොට අවුල් තැන් අහුවෙනවා. නොගැළපෙන තැන් අහුවෙනවා. කලකිරීමට පත්වෙනවා. කනස්සල්ලට ලක් වෙනවා. ඩිප්‍රෙස් වෙනවා. මානසිකව වැටෙනවා. එහෙම කිසිම අවුලක් නැති වුණත්, කාලයක් යද්දි හරි අවුල් අහන්න, දකින්න ලැබුණොත් පරමාදර්ශ බිඳවැටෙනවා. එපා වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික ජීවිත බිඳවැටෙද්දී, විනාශ වෙද්දි, පෘථග්ජන මිනිස්සු විධියට ඔවුනුත් කාලයකදී පිස්සු කෙළිද්දී අපේ ජීවිතත් ඔවුන් එක්කම කුඩු වෙලා විනාශ වෙනවා වගේ දැනෙන්න පටන්ගන්නවා. කලකිරීමක් විතරක් ශේෂ වෙනවා.

අනුගමනය, අනුකරණය නොකර හැදෑරීම කියන්නේ ඒ දෙකටම වඩා පරිණත මට්ටමක තියෙන, සාර්ථක මට්ටමක තියෙන බෝල්ඩ් කන්සෙප්ට් එකක්. අපි කැමැති චරිත, අපි කැමැති ප්‍රතිරූප ‘පරමාදර්ශී චරිත’ කියන මුරුංගා අත්තට ගේන්නේ නැතිව ඔවුන්ගේ හොඳ නරක ගැන අපි අධ්‍යයනයක නියැළෙනවා. එතැනින් පස්සේ නරක ඉවත් කරනවා, හොඳ අවශෝෂණය කරගන්නවා. ගත යුතු දේ පමණක් ලබාගන්නවා. එතැනදී තවත් වැදගත් පියවරක් අපි ඉදිරියට තියෙනවා. පරමාදර්ශී චරිතය කියාගෙන එක මිනිහෙක්ට කොටු නොවී අධ්‍යයනය පිණිස බොහෝ මිනිසුන් වැලඳගන්නවා. බොහෝ මිනිසුන් සමඟ සම්මුඛ වෙනවා. සියලු ප්‍රතිරූපවල වඩා සාර්ථක දේවල් දැනුවත් හෝ නොදැනුවත්ව එන්නත් කරගෙන වඩා පරිපූර්ණ, වඩා සාර්ථක මිනිසෙක් අපි තුළ නිර්මාණය කරනවා. අපි තුළ අපිව නිර්මාණය කරනවා.

ඔයාට ජීවිතේ පරමාදර්ශ තියෙන්න පුළුවන්. පරමාදර්ශී චරිත ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා නම් ඉවත් කරගන්න වගේ තැනකින් මේක ඉවර කරන්න මට ඕන නෑ. ඒත් එක දෙයක් කියන්නම්. මේක පෞද්ගලික අත්දැකීමක්.

පරමාදර්ශ තියාගත්තම, පරමාදර්ශී චරිත ගොඩනඟා ගත්තම උන් ෆේල් වෙද්දී, පෞද්ගලික ජීවිතය ඇතුළේ  පිස්සු කෙළිද්දී,  නන්නත්තාර වෙද්දී, අපි ෆේල් වෙනවට වඩා රිදෙනවා. අපි පිස්සු කෙළියට වඩා දැනෙනවා. අපි නන්නත්තාර වුණාට වඩා වැටෙනවා. කලකිරීමක් විතරක් ඉතුරු වෙනවා.

ලෝකය කැරකෙන වේගයටම පරමාදර්ශ බිඳවැටෙනවා. ප්‍රතිරූප විනාශ වෙනවා. ඒ නිසා පරමාදර්ශ තියාගන්නවා වෙනුවට චරිත ගොඩක් දිහා බලාගෙන අපිට අපිවම නිර්මාණය කරගන්න පුළුවන් නම්, අපිට අපිටම පොරක් වෙන්න පුළුවන් නම්, අපිටම අපේ වීරයා බවට පත්වෙන්න පුළුවන් නම්, ඒක ලේසියි! ඒක පහසුයි!