ධානිෂ් අලී ඇප මත මුදාහරී

0
21

උද්ඝෝෂණකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිෂ් අලී යන අය රුපියල් 25,000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (15දා) නියෝග කළේය. කුරුණෑගල, වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිෂ් අලී නමැති අය මෙලෙස ඇප මත මුදාහැරිණි.

පොදු දේපළ පනත ප්‍රකාරව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමට තරම් කරුණු පැමිණිල්ලේ ඉදිරිපත් නොවන බවට සඳහන් කරමින් සැකකරු එලෙස ඇප මත මුදාහරින බවට ප්‍රකාශ කළ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුට කුරුඳුවත්ත පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරු¾දුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තුවක් මත සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී ඉකුත් 26 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරු¾දුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සැකකරු බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව සැකකරුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම විය.

හංසි නානායක්කාර