ටියුෂන් ගුරු වන්දනාවේ යන ලුම්පන් බැතිමත්තු

0
83

මේ අධ්‍යාපන ක්‍රමය අපිට එන්නෙ පන්සල් කේන්ද්‍රීයව තිබ්බ අධ්‍යාපන ක්‍රමය වගේම මිෂනාරි අධ්‍යාපන ක්‍රමයෙ දිගුවක් විධියට. වික්ටෝරියානු යටත්විජිත සමයේ පරිපාලන නිලධාරීන් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් සහ ආගම ව්‍යාප්තිය වෙනුවෙන් මුලින්ම ක්‍රිස්තියානි පාසල් නිර්මාණය වුණා සහ ඊට සමගාමීව බෞද්ධ පාසල් ලංකාව පුරාම නිර්මාණය වුණා.

ටියුෂන් කියන දේ කරළියට එන නිශ්චිත මොහොත මොකක්ද? අපිට හිතෙන්නේ පාසල් අධ්‍යාපන ක්‍රමය දුර්වල නිසයි ටියුෂන් සංස්කෘතියක් ඇතිවෙන්නෙ කියලා. ඒත් ඒ සිදුවීම් දෙක ඇතුළේ තියන්නේ දයලෙක්තික සම්බන්ධයක්. ඒ කියන්නෙ ධනවාදී ක්‍රමය ඇතුළේ වුවමනාවල් තමයි මුලින්ම නිර්මාණය වෙන්නේ. පාසලින් ලැබෙන ඉගැන්වීමට වඩා වැඩි යමක් ලබාගත යුතු යැයි හිතන පිරිසක් ටියුෂන් යන්න පටන්ගත්තා සහ නිදහස් අධ්‍යාපන තුළ දැනුම ඉගැන්වීම මඟින් මුදල් උපයාගත නොහැකිවීමේ අර්බුදය ටියුෂන් මඟින් විස¾දුණා.

ඒක මේ ධනවාදී ක්‍රමයේ තියෙන සුවිශේෂීතාවක්. පොදු ජනයාගේ බදු මුදල්වලින් මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපන අයිතිය කියලා පනතක් සම්මත වුණා. එතැනින් පස්සේ වාණිජමය විධියට බලෙන් අධ්‍යාපනය විකිණුනේ නෑ. ඒත් මුදලට විෂය ඉගැන්වීම ටියුෂන් සංස්කෘතිය මඟින් වාණිජකරණය වුණා. මේ ක්‍රමය ඇතුළේ අපිව හිරකරලා නෑ. අනිවාර්යයෙන් මුදල් දීලා ටියුෂන් යා යුතුයි කියලා. ඒක වෙන්නේ වක්‍රව සංස්කෘතික රාමුව හරහා. ඒ නිසා මේ කාලෙ ටියුෂන් නොයන ළමයෙක්ව හොයාගන්නත් අමාරුයි.

ඉගෙන ගැනීම මඟින් යහපත් සමාජ තත්ත්වයක් අත්පත් කර ගැනීම කියන කතිකාවට සමගාමීව ලාංකේය සංස්කෘතිය ඇතුළේ මතයක් තියෙනවා ළමයාට හොඳ නරක කියාදීලා හික්මවිය යුතුයි. එහෙම නැත්නම් ළමයා නොමඟ යනවා කියන අදහස. ඒ නිසා ඉස්සර ඉඳන්ම පාසල්වල වේවැල් තියා ගත්ත විදුහල්පතිවරු, පෝලිමට ඉඳගෙන කොණ්ඩ, රැවුල් කපන විනය බාර ගුරුවරු වගේ දැඩි විනය රාමු මතයි පාසල් ක්‍රියාත්මක වෙන්නෙ.

 ඒත් මේ විනය රාමුව ටියුෂන්වලදි බලාත්මක කරන්න බෑ. මොකද ක්ලාස් ෆීස් කියන ටියුෂන් ගුරුවරයෙක්ගේ පැවැත්මේ යතුර රැඳිලා තියන්නෙ ළමයා මත. එතැනදි ටියුෂන් ගුරුවරයාට වෙනවා ළමයාව ශිෂ්ට කරන්න. හැබැයි අවිඥානික රාමුවක් ඇතුළේ. ඒ වගේම ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න එක මත තමයි ටියුෂන් ගුරුවරයෙක්ගෙ පැවැත්ම රැඳිලා තියන්නෙ. මොකද ටියුෂන් කියන්නෙ ගොඩක් තරගකාරී තැනක්. ඇඩ්වටයිසින්, මාකටින් ඔය මොන විදිහකින් හරි ලොකුම ළමයි ගොඩ හදාගන්න කෙනාටයි ලාභය වැඩි.

අපි හිතුවට වැදගත් වෙන්නෙ විෂය හරිහැටි ඉගැන්වීම කියල, හැම ටියුෂන් ගුරුවරයෙක්ම පාහේ විෂය හොඳට උගන්නනවා. පාසල ඇතුළේ විනාඩි හතළිහේ කාලපරිච්ඡේද තුළ කරන ඉගැන්වීම ටියුෂන් පන්තියක පැය කිහිපයක් ඇතුළේ ගොඩක් සරලව කියාදෙන්න පුළුවන්. එතැනදි ළමයෙක් ගුරුවරයෙක්ට බැ‍ෙ¾දන්නේ විෂය කරුණුවලට වඩා වැඩි යමක් ලබාදීම තුළින්. ජීවිතය ගැන, දේශපාලනය ගැන කාලීන දේවල්, ඒ වගේම ළමයි ඉස්සරහා ලොකු ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්න එක මතයි ටියුෂන් ගුරුවරයෙක්ගේ පැවැත්ම තීරණය වෙන්නේ.

ඒක එහෙම වෙන්න හේතුව මං කලින් ලිපිවලත් කතාකරපු මේ සමාජ ඇතුළේ තියෙන සංකේතීය පියා අහිමිවීමේ අර්බුදය. අපිව ශික්‍ෂණය කරන්න කෙනෙක් බාහිර සමාජයේ නෑ. අන්න ඒ හිස්තැනට ටියුෂන් ගුරුවරයා කියන පරමාදර්ශී චරිතය ඇටෑච් වෙනවා. ගොඩක් යූත් එක නිතර කියන “අහවල් ගුරුවරයා විෂය කරුණුවලට වඩා ජීවිතේ කියාදුන්නා, සර් ජීවිතේ ගැන කියලා දුන්න දේවල් නිසයි අපි අද මෙතැන ඉන්නෙ” වගේ පොදු‍ෙවේ ඇහෙන කථාවලින් තේරෙනවා විෂය කරුණුවලට වඩා ගුරුවරයා ළමයින්ව අකර්ෂණය කර ගැනීම උදෙසා, එහෙම නැත්නම් එක දිගට විෂය ඉගැන්වීම ඒකාකාරී වීම නිසා කරන අර වැඩි යමක් දෙයටයි ළමයෙක් ගුරුවරයා වෙතට බැ‍ෙ¾දන්නේ.

විෂය කරුණු පමණක් ඉගැන්වූ පමණින් ගුරුවරයෙක් ජීවිතය ගැන, දේශපාලනය ගැන, හොඳ නරක යැයි දකින දේ ගැන ප්‍රාමාණික බුද්ධිමතෙක් වෙන්නෙ කොහොමද?

මේ ආටිකල් සීරීස් එකේ මූලික තේමාව සිතීම ප්‍රශ්න කිරීම. ඒ කියන්නේ “අවුට් ඔෆ් ද බොක්ස්” සිතීම නෙමෙයි ඒ අපි “බොක්ස්” කියලා දාන රාමුව පවා ප්‍රශ්න කිරීම. යූත් එකේ කවුරුත් වහල්ලු නෙමෙයි. ඔබ සවිඥානිකයි විෂය කරුණු ගැන වගේම සමාජය ගැන, දේශපාලනය ගැන. ඒත් ඒ සවිඥානිකත්වය තියෙන්නේ ඔබට පෙනෙන සීමාවේ විතරයි. එතැනින් එහාට ඔබ හිතන්න යන්නෙ නෑ.

ටියුෂන් ගුරුවරයෙක් වෙතට යද්දී එයා ගැන මාධ්‍යවලින්, පෝස්ටර්වලින්, හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකෙන් තියෙන ප්‍රතිරූප අදහගෙන යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔබේ සිතීමේ හැකියාව ඒ ගුරුවරයා දරන මතවාදීමය සීමාව ඇතුළට විතරක් සීමා වෙන එක. ඔබ එතකොට ලෝකය දකින්නේ ඒ ගුරුවරයාගේ ඇහින්.

ලෝකය ඔබේ ඇහින් දකින්න. සියලු සදාචාර සීමාවන්, සංස්කෘතීන් ප්‍රශ්න කරමින් ඔබව සොයා ගන්න. මොකද විභාගයක් උදෙසා කටපාඩම් කරන හෝ පුරුදු පුහුණු කරන විෂය කරුණු ඇතුළේ ඔබ ක්‍රමලේඛගත වෙච්ච යාන්ත්‍රික මිනිසෙක් වෙන්න පුළුවන්. ඒත් සිතීම පැත්තෙන් ඔබට විශාල පරාසයක් තියෙනවා. ලෝකෙ ගොඩක් ලොකුයි. ඉතින් ඒ අපරිමිත සීමාව ඇතුළේ ඔබේ සීතීමේ පරාසයෙ විශාලත්වය මැනගන්න.

ලසිත ඒකනායක