ජපානයේ රැකියා දෙනවා කියා රුපියල් ලක්ෂ 21ක් වංචා කළ සැකකාරිය 25දා දක්වා රිමාන්ඩ්

0
15

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් විසිහත් ලක්ෂ හැට දහසක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාවක් 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.

රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ තලාතුඔය, නුගලිද්ද පදිංචි 38 හැවිරිදි කාන්තාවකි. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ  ඇය ව්‍යාජ නමකින්ද පෙනී සිට ඇති අතර  සුසිලාරාම පාර මාලබේ සහ  ශාන් ටේලරස්,  ගැටමාන්න පාර, කම්මුස්සාවල, බෙලිඅත්ත යන ව්‍යාජ ලිපිනයන්ද ලබාදී ඇති බවය. සැකකාරියට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක් තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය.

අන්තර්ජාලයෙන් හ¾දුනාගත් ගාල්ල බටදුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ජපන් රටේ රැකියාවක් ලබාදෙන බව පවසා 2019 වසරේදී ඔහුගෙන් රුපියල් 13,10,000ක්ද අක්මීමණ, අන්කොක්කාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 14,50,000ක්ද ලබාගෙන වංචාකර ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු දීර්ඝ  ලෙස විමර්ශන පැවැත්වූ පොලිසිය ඇය වෙස්වළාගෙන තලාතුඔය ප්‍රදේශයේ පූජා භාණ්ඩ  වෙළෙඳසලක් පවත්වාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුලස්ති සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක මල්ශ මුද්යාත්, උප පොලිස් පරීක්ෂක උදයකාන්ත, සැරයන් ලීලසේන (4836) කාන්තා සැරයන්වරුන් වන දීපිකා (5320), ජයවර්ධන (6058), කාන්තා කොස්තාපල් ශසිකලා (7942) යන මහත්ම මහත්මීහු සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්, අහංගම _ එස්. දීයගහගේ