ගෝඨාභය පූර්ණ ආරක්ෂාවක් යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුයි

0
18

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටලුවක් නොවන බව හිටපු  ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවැසීය. රාජ්‍ය මැදිහත්වීමක් තුළින් හිටපු ජනාධිපතිවරයා පූර්ණ ආරක්ෂාවක් යටතේ නැවත ශ්‍රී  ලංකාවට ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

88/89 කැරැල්ලෙන් පසුව ජවිපෙ නායක  රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයටද මෙවැනි රාජ්‍ය ආරක්ෂාවක් ලබාදීමට එවක රජය කටයුතු කළ බවත් එවැනි පිළිවෙතක් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද අනුගමනය කිරීමට වර්තමාන ආණ්ඩුවට බාධාවක් නැති බවත්  හෙතෙම පෙන්වා දෙයි. ඔහු මෙසේද පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි විටෙකත් අරගලයට වෙඩි තැබීමට නියෝග දුන්නේ නෑ. අරගලකරුවන්ගේ ජීවිත උදුරා ගත්තේ නෑ. අපි ඔහුට ඒ වෙනුවෙන් ගරු කළ යුතුයි. මැයි 09 වැනිදා සිදුවීම පවා ඔහුගේ දැඩි අකැමැත්ත මත සිදුවූ ම්ලේච්ඡ සිදුවීමක් බව පසුව මාධ්‍ය වාර්තාකොට තිබුණා. එකී සිදුවීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ නූගත් දේශපාලන රෙජීමය ඍජුව වගකිව යුතුයි.

“නහී වේරේන වේරානි – සම්මන්ති‘ධ කුදාචනං

අවේරේන ච සම්මන්තී –  ඒස ධම්මෝ සනන්තනෝ”

බුදුන් වහන්සේ වදාළ මෙකී බෞද්ධ ගාථාවට අනුව ජීවත් වන රට වැසියන් බහුතරයක් වෙසෙන අප සමාජය ගෝඨාභය සාධකය දෙසද එසේ බැලිය යුතු යැයි මම යෝජනා කරනවා. ඒ මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මුහුණ දෙමින් සිටින ඛේදජනක ඉරණම නිසා. දැන් ඔහු බලයෙන් පහකරන ලද අසාර්ථක පාලකයෙක්. අපි ඔහු කෙරෙහි තවදුරටත් වෛරයෙන් බැලිය යුතුද? ඔහු සමඟ පැවති දේශපාලන අරගලය අවසන් කළ යුතු නැද්ද? මා සිතන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු තවදුරටත් ශ්‍රී  ලංකාව තුළ වලංගු සහ මාර්කට් කළ හැකි දේශපාලන චරිතයක් නොවෙයි. එබැවින් ඔහුට තම උපන් භූමියට පැමිණීමට ඉඩදිය යුතුයි. එය රටේ පුරවැසියකු ලෙස ඔහුට ඇති අයිතියක්.

ජවිපෙ නායක  රෝහණ විජේවීර මහතාගේ පවුලේ අයටද 88/89 කැරැල්ලෙන් පසුව මෙවැනි රාජ්‍ය ආරක්ෂාවක් ලබාදීමට එවක රජය කටයුතු කළා. එවැනි පිළිවෙතක් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද අනුගමනය කිරීමට වර්තමාන ආණ්ඩුවට බාධාවක් නැ. එය ඉතා කඩිනමින් ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. එසේ රටට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුට එරෙහි චෝදනා තිබේ නම් රටේ පවතින නීති රීති අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවතින ආණ්ඩුවට හෝ පුරවැසියන්ට අයිතියක් තිබෙනවා. අනාගතයේ පත්වන ඕනෑම ආණ්ඩුවකට එසේ කිරීමට බාධාවක් නෑ.

අනුරාධා හේරත්