කඳුකර කොටියා මිය ගියේ ගහට යටවීමෙන් නොව බේරීයෑමට දැඟලීමෙන් ඇති වූ කම්පනය හා විඩාව හේතුවෙන්

0
16

හැටන් සමර්හිල් වතුයායේ ගසක එල්ලී සිටි කඳුකර කොටියා මිය ගියේ එම ගස කැපීමේදී ඊට යටවීමෙන් නොව, රාත්‍රිය පුරා ගසේ එල්ලී බේරීයෑමට දැඟලීමෙන් ඇති වූ කම්පනය හා විඩාව හේතුවෙන් යැයි එම සතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම නිගමනය කර ඇත.

ඉකුත් 7 වැනිදා රාත්‍රියේ දඩයක්කරුවකුගේ මන්දකට හසු වූ මෙම දුර්ලභ කඳුකර කොටියා මන්ද කඩාගෙන ගොස් යුකැලිප්ටස් ගසකට නැඟ තිබූ අතර එහි අඩි 30ක් පමණ උස තැනකදී පැටලී එල්ලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක වනජීවී අංශ දැනුවත් කොට තිබිණි.

ඒ අනුව එහි ගිය වනජීවී කණ්ඩායම් එම සත්ත්වයා බේරා ගැනීමේ අදහසින් ගස කැපූ නමුත් ගස කැපීමෙන් පසු සතා මියගොස් තිබිණි.

ගස කැපීමේදී ගසට යටවී එම කොටියා මියගිය බවට වන ප්‍රචාර හේතුවෙන් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර විසින් මේ පිළිබඳ සොයා බැලීමට අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කණ්ඩායමක් ද පත් කරනු ලැබීය.

එම කණ්ඩායම සමර්හිල් වතුයායේ දී පසුගිය දින කිහිපයේම පරීක්ෂණයේ යෙදුණු අතර මියගිය කොටියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් 12දා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේදී සිදුකෙරිණි.

ගසට යටවීමෙන් එම සත්ත්වයාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව එම පරීක්ෂණය සිදුකළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද්  “මව්බිම” ට කීවේය.

මන්දට හසුවීම හේතුවෙන් ඇති වූ තුවාල උදරයේ තිබූ නමුත් මරණයට හේතු වූයේ කම්පනය හා විඩාව බව තහවුරු වූ බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට කඳුකර කොටියා මියගිය යුකැලිප්ටස් ගස ආසන්නයටම ගිය පරීක්ෂණ කණ්ඩායම හෙළිකරගෙන ඇත්තේද එම සත්ත්වයා බේරා ගැනීමට කළ හැක්කක් නොමැති බවය.

අංශක 55ක පමණ ආනතියක් සහිත කඳු බෑවුමක පිහිටි එම ස්ථානයට ළඟාවීම පවා අපහසු බවත් අඩි 30ක් පමණ උසකින් එම සතා එල්ලී සිටි බවත් පරීක්ෂණ කණ්ඩායම නිරීක්ෂණය කොට ඇති අතර කොටියාට දෙපා රඳවා ගැනීමට ආධාරකයක් රඳවන්නට වනජීවී කණ්ඩායම උත්සාහ දරා ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර ඇත.

කළ හැකිව තිබූ එකම කටයුත්ත ගස බිම දමා සතා බේරාගත හැකි දැයි බැලීම බවත් එය ඔවුන් විසින් කර ඇති බවත් පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

විනීතා එම්. ගමගේ