ඉන්දීය ක්‍රිකට් ආයතනය  දෝනිව  පරිස්සම් කරගනියි

0
23

නුදුරේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙස හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පත් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන් සිදු කළ ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 6හිම හිමිකාරීත්වය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් දැරුවද ඉන්දීය ක්‍රිකට් පරිපාලනය මෙවන් තීරණයක් ගෙන තිබීම විශේෂත්වයකි.

මෙහිදී කිසිදු ඉන්දීය ක්‍රීඩකයකුට විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් ස¼දහා එක්වීමට අවසර හිමි නොවන ලෙස පවත්නා නීති හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය. අදාළ නීතියට අනුකූලව ඉන්දීය ක්‍රීඩකයකු නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා තෙක් කිසිදු විදෙස් ලීගයක් සමඟින් එක්වීම හෝ ගිවිසුම්ගත වීම නොකළ යුතු අතර එය සපුරා තහනම්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය සඳහන් කර තිබුණේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී තිබුණද ඔහු තවමත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන නිසා මෙලෙස දකුණු අප්‍රිකානු ලීග් තරගාවලිය සමඟින් එක්වීමට අවසර ලබා නොදුන් බවයි.