ඉන්දියාවයි ශ්‍රී  ලංකාවයි එකම කාසියේ දෙපැත්තක්

0
47

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යනු එකම කාසියේ දෙපැත්තක් යැයිද දෙරටටම වෙන්ව ගමනක් නොමැති යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15දා) පැවැසීය. ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇතැයිද ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු යැයිද සහජීවනයෙන් කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළ යුතු යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු අතර අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

“අනාදිමත් කාලයක සිට අපට උපකාර කරන ඉන්දීය රජයට සහ ඉන්දීය නාවික හමුදාවට මම පළමුවෙන්ම ස්තුතිවන්ත විය යුතුයි. මට මතකයි අවුරුදු 6ක් 7ක් තරම් ළමා කාලයේදී මම මුලින්ම යුද නෞකාවට නැග්ගා. එය ඉන්දීය නාවික හමුදාවට අයත් එකක්. ඒ වකවානුවේදී බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් එම ඉන්දීය නෞකාව මෙරටට ලබාදී තිබුණා.”

“තවත් බොහෝ ඉන්දීය දේශපාලනඥයන් හමුවීමට වාසනාව සහ වරප්‍රසාදය ලැබුවා. විශේෂයෙන්ම අගමැති මොරාර්ජි දේසායි. අගමැති වරන් සිං, අගමැති රජිව් ගාන්ධි, අගමැති නරසිංහ රාඕ විශේෂයෙන්ම අප දෙදෙනාම අධ්‍යාපන අමාත්‍ය ධුර හෙබවූ නිසා මම හොඳින් ඔහුව දැන සිටියා” ජනාධිපතිවරයා කීය.

“ශ්‍රී ලංකාවේ නැඟී එන දේශපාලකයන්ට, ඉහළ තනතුරු අපේක්‍ෂාවෙන් සිටින අයට මගේ උපදෙස් නම් ඔබේ ඉන්දියානු සගයන්ව හොඳින් දැන හඳුනාගෙන ඔවුන් සමඟ ගනුදෙනු කරන ලෙසයි. මන්ද ඔබ එසේ නොකරන්නේ නම් ගැටලු දෙස බැලීමට සහ එකිනෙකා පවසන දේ තේරුම් ගැනීමට ඔබට අපහසු වනු ඇත. අපට බොහෝ ක්‍ෂේත්‍රවල පොදු අදහස් තිබෙනවා” යැයිද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“ ඉන්දියාව තම අවශ්‍යතා ගැන සොයා බලන අතරම ගෝලීය බලවතකු ලෙස එහි භූමිකාව දෙස බැලිය යුතුයි. අපි ඔවුන් සමඟ කතා කිරීම අත්‍යවශ්‍යයි. සියල්ලට වඩා ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා වන අතර, අප අවබෝධ කරගෙන සිටින අපට පොදු ගැටලු රාශියක් තිබෙනවා. ඉන්දු – ලංකා සබඳතාවලට පමණක් නොව කලාපයට සහ ලෝකයට අදාළ ගැටලු අප විස¼දාගත යුතුයි. එබැවින් මෙම ප්‍රදේශවල අපට එය කළ හැකි අතර, ඉන්දියාව සමඟ එකඟතාවකට පැමිණීමට හෝ ඒ හා සමාන මත දැරීමට අපට බොහෝ අවස්ථාවන් තිබෙනවා යැයිද පැවසීය.

“මම හැමදාම කිව්වේ අපි තනි කාසියක දෙපැත්ත කියලා. එක් මුහුණක් එක පැත්තකට වැටෙන ලෙසත් අනෙක් මුහුණ අනෙක්  පැත්තට වැටෙන ලෙසත් කාසියක් බෙදිය නොහැකියි. මක්නිසාද යත් ඉතිහාසය අපව එකතු කර ඇති අතර අපට එකට සිටිය යුතුයි. මෙම සම්බන්ධතාව කුමක්ද? මට ඒ සඳහා නිශ්චිත වචනයක් ලැබී නැහැ. නමුත් මට පැමිණිය හැකි සමීපතම දෙය, දෙරට අතර සහජීවන සබඳතාවයි. අපි දෙගොල්ලන්ම දෙරටේ 75 වැනි සංවත්සරය සමරනවා. මම කියන්නේ අපේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කැප වෙමු” යැයි ජනාධිපතිවරයා පැවසීය.