ඇට්ටරකමට ලයිසන් ගන්න independent කෝලම

0
53

සූරියකාන්ත මලට තියෙන්නේ ඇස් කඩාගෙන යන අමුතුම ලස්සනක්. එයා ශක්තිමත් වෙන්නේ අනෙක් අයට දරා ගන්න බැරි හිරු රශ්මියත් එක්ක. හැරෙන්නෙම ඉර පැත්තට. සාමාන්‍ය ළාමක සියුමැලි මලක් වගේ පෙණුනට එයාගේ බලය තියෙන්නේ හිරුත් එක්ක ගනුදෙනු කරන විධියට. එයා survive වෙන්නේ අනෙක් අයට දරා ගන්න බැරි හිරු රශ්මියත් එක්ක ඉද්දි විතරයි. 

රෝස මලක් පිටින් හරිම සුන්දරයි. හිත ඇදිලා යන ආකර්ෂණයක් තියෙන මලක්. හැබැයි එයාගේ නටුවෙ කටු තියෙනවා. මලට ආස හිතිලා කඩන්න ගියොත් හදිසි වෙන කෙනාගේ අත තුවාල වෙන්න පුළුවන්. කානේශන් මලට තියෙන්නෙත් ඊට වඩා වෙනස් ආකර්ෂණීය සුන්දර බවක්. කටු නෑ. සැර නෑ. හරිම සියුම්.

බා¾දුරා මලට තියෙන්නේ පුදුමාකාර කුරිරු පෞරුෂයක්. ළඟට එන නාඳුනන ජීවීන්ව ගිල ගන්නේ හිතා ගන්න බැරි විධියට.

මේ ලෝකය සිසාරා උතුරු අර්ධ ගෝලයේ ඉඳන් දකුණු අර්ධ ගෝලය වෙනකන්ම ඉන්න කාන්තාවන්ට තියෙන්නෙත් මෙන්න මේ වගේ විවිධාකාර ගුණාංගයන්.

සමහර කාන්තාවො රෝස මල් වගේ. කවියක් වගේ සුන්දරයි. හැබැයි කටුවලින් පුරෝගෙන ඉන්නෙ. ඒ තමන්ගෙම ආරක්ෂාවට. ඔවුන් ලෝකය ගැන නිතරම සැකෙන් සහ බියෙන් ඉන්නවා. ඔවුන් තමන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඉතා සැලකිලිමත්. නමුත් බිය සහ සැකය හේතුවෙන් නව ආයෝජන ආදියට අත ගැසීමට බියක් දක්වනවා. ඔවුන් අධ්‍යයන කටයුතුවලින් හෝ නව සංකල්පයන්ගෙන් බොහෝ දුරයෑමට මැළිවෙනවා. ඒ තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ සාමකාමී බව වෙනුවෙනි.

තවත් කට්ටියක් කානේශන් වගේ. ඔවුන් තමන්ගේ බාහිර රූපය ගැන ඉතාම සැලකිලිමත්. නමුත් අභ්‍යන්තරයෙන් අමනෝඥයි. ඔවුන්ගේ පරම බලාපොරොත්තුව ආර්ථිකය ශක්තිමත් පිරිමියෙක්  සමඟ විවාහ වී තමන්ගේ ඉතුරු ජීවිත කාලය දරුමල්ලන් සමඟින් සුවපත් දිවියක් ගත කිරීමයි.

බාඳුරා කාණ්ඩයේ කාන්තාවන් අතිශය භයානකයි. ඔවුන්ගේ පරම අභිප්‍රාය තමන්ගේ පෞද්ගලික දියුණුව පමණයි. වචනයේ පරිසමාප්තියෙන්ම පිළිකුල් සහගත යැපෙන්නියන්. ඒ වෙනුවෙන් ඕනෑම කූට ක්‍රියාවක්් කිරීමට  ඔවුන්ට හැකියාවක් තිබෙනවා. තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සාදා ගැනීමට බලාපොරොත්තු වන්නේ යම් අයකුගේ කර මතිනි. ස්වාධීනත්වයට කැමැත්තක් දක්වන බව පෙන්වුවත් කිසිදා සටන් නොකරයි.

සූරියකාන්ත කාණ්ඩයට අයත් ඉතාම සුවිශේෂී කාන්තා වර්ගයක් ඉන්නවා. ඔවුන් විටෙක  සියුමැලියි. විටෙක සිතා ගත නොහැකි  තරමට කලහකාරියි. ඔවුන් ජීවිතය දෙස බලන ආකාරය පිරිමින්ට හිතාගන්නවත් බැහැ. එතරම් සංකීර්ණයි. මොවුන්ගේ දුර්වලම ස්ථානය වන්නේ “ප්‍රේමයයි“. තමන් ආදරය කරන්නන් වෙනුවෙන් ලෝකයක් සමඟ වුවත් සටන් කරන්න පෙලඹෙන්නෙ සිතාගත නොහැකි අයුරින්. ඉතා දැඩිව තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි සැලකිලිමත් වන මොවුන් පිරිමින්ගෙන් යැපීමට අකැමැති වන්නියන්. නිතරම තමන්ගේ මුදලින් සියලු දෑ තනිව කර ගැනීමට බලාපොරොත්තු වන්නේ උඩඟුකමකට නොව එය තමන්ගේ වගකීමක් ලෙස සලකමිනි.

තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහ ගරුත්වය වෙනුවෙන් ඕනෑම තැනකින් මිදී තමන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් සටන් කිරීමට මොවුන් නිතැතින්ම පෙලඹෙනවා. බලයට ආශාකරන මොවුන් තමන්ගේ උත්සාහයෙන්, තමන් උගත් දෙයින් උපරිම තත්ත්වයක් කරා යෑමට වෙර දරනවා. විටෙක ඉතා කුඩා දේවල් ගැන පවා කලබල වෙන සේයාවක් පෙන්වුවද, ඇගේ මොළයේ ධාරිතාව සහ හදවතේ දරා ගැනීම ශක්තිය බැලීමට මහා කලබලයක් විය යුතුමයි.

එමෙන්ම, මොවුන් කරදර සොයා යන්නියන්. සාමාන්‍ය කාන්තාවන් ගැනීමට බිය වන බොහෝ තීරණ ඔවුන් නොබියව ගන්නේ කිසිවකුට තේරුම් ගත නොහැකි අයුරිනි. ආදරය කිරීමේදී කිසිදු සීමාවක් නොසලකා, තමන්ව පවා අමතක කර ඒ කෙනා වෙනුවෙන්ම කැපවී සිටීම මොවුන්ගේ යම් දුර්වලතාවක් ලෙසද ගත හැකියි. එමෙන්ම ඔවුන් ඒ පාර්ශ්වය ඉදිරියේ ඉතා ළද බොළඳ ආකාරයෙන් හැසිරීමට කැමැත්තක් දක්වනවා. ඇය කෙතරම් ශක්තිමත් වුවත් තමාගේ ආදරණීයයාගේ සෙවණැල්ල තුළ සැඟව සිටීමට ප්‍රියතාවක් දක්වනවා.

මේ සියලු කාන්තාවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ සිතුවිලි ඉතා සංකීර්ණ ස්වභාවයක් ගන්නවා.

කානේශන් වර්ගයේ ගැහැනුන් සිය සුඛවිහරණය වෙනුවෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය නැත්තටම නැති කර ගැනීමක් සිදු කරනවා. සිය සිහින සහ අභිප්‍රායන් සියල්ල මවුපියන්ගේ, පෙම්වතාගේ, සැමියාගේ දෙපතුල තුළ තබන්නේ අලසකම, වගකීම් ගැනීමට අකැමැති වීම සහ යැපීමෙන් ඇති වන හුදු ව්‍යාජ තෘප්තිය කෙරෙහි ඇල්මක් දක්වමිනි.

තවත් කාන්තාවන් පිරිසක් ස්වාධීන වන්නේ ලෝකයාට පෙන්වීමටය. එය ඇයට සමාජය ඉදිරියේ පෙනී සිටීමට ආභරණයකි.

නමුත් නිවෙස තුළ සිරකාරියකි. බොහෝ විට ඇය තම අදහස් ප්‍රකාශ කිරීමට භාවිත කරන්නේ සමාජ මාධ්‍යයයි. ආර්ථිකය ගොඩනඟා ගැනීමට යම් දේ සුළුවෙන්  ඉටු කළද ඇයද යැපෙන්නේ මවුපියන් හෝ සැමියා මතය.

තවත් අය එලෙස කරන්නේ ස්වාමිපුරුෂයාට හෝ පෙම්වතාට අභියෝගයක් ලෙසයි. ඇය ඔහුට වඩා උපයන්නියක් ලෙස ආඩම්බර වීමට කැමැත්තියන්ය.

කාන්තාවන්ගෙන් අතළොස්සක් පමණක් සැබැවින්ම ස්වාධීන කාණ්ඩයට ගත හැකියි.

ඔවුන්ගේ එකම අභිප්‍රාය ආධාරයකින් තොරව තමන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමයි. එය කිසිවකුටවත් පෙන්වීමට නොව තමන්ගේ ස්වාධීන ජීවිතයේ යථා පැවැත්ම වෙනුවෙනි.

කාන්තාවකගේ මූල්‍ය ස්වාධීනත්වය ඔවුන්ගේ ජීවිතයේ බොහෝ දෑ තීරණය වීමට පදනම් වන්නකි. වැදගත්ම කාරණය නම්,

ස්වාධීන වීම යන්නෙහි අර්ථය තනිව ජීවත් වීමක් නොවේ. තනිව ජීවත් වීම හෝ පවුලක් ලෙස ජීවත් වීම  අතිශය සාමාන්‍ය සහ පෞද්ගලික තෝරා ගැනීමකි. එය එකිනෙකාගේ රුචිකත්වය මත තීරණය වේ. මූල්‍යමය ස්වාධීනත්වය කිසිවිටක විවාහක, අවිවාහක බව මත පදනම් නොවේ. ඕනෑම කුණාටු සමයක තමන්ගේ ස්ථාවරත්වය වෙනුවෙන් පුද්ගලයෙක්  සූදානම් විය යුතුමය. එයට ස්ත්‍රී – පුරුෂ භේදයක් නොමැත.

සූරියකාන්ත කාණ්ඩයේ කාන්තාවන් මේ ස්ථාවරත්වය පිළිබඳව මැනවින් වටහා ගන්නියකි. අවාසනාවකට පුරුෂ පාර්ශ්වය ජීවිතයේ ප්‍රථම අර්ධයේදීම කානේශන් මල් පිටුපස හඹා යන්නෝය. 60%ක් පමණ පිරිමින් බොහෝ විට විවාහ වන්නේ රෝස කාණ්ඩය සමඟය. පිරිමි පාර්ශ්වය සූරියකාන්ත මල් හඳුනාගන්නේ වයස 25න් පසු පරිණත කාණ්ඩයට පා නඟන විටය.  සූරියකාන්ත මලක නියම රශ්මිය විහිදෙන්නේ ද එම වයස් කාණ්ඩයේදීය. එවිට දෙපාර්ශ්වයම බොහෝ විට නොගැළපෙන ස්ථානයන්හි ලැගුම්ගෙන හමාර විය හැකිය. පිරිමින් ඔවුන්ට ආශක්ත වන්නේ නිතැතින්මය. සූරියකාන්ත මලක  ස්වාධීනත්වය මෙන්ම ඇදහිය නොහැකි ආදරණීය බවද ඔවුන්ව වසඟයට පත් කරගනු ඇත.

ස්වාධීනත්වය යනු ඇට්ටර ගතිගුණයක් නොවේ. එය මැනවින් කළමනාකරණය කිරීම කාන්තාවකට ආභරණයකි.

බාඳුරාවලට රැවටී, රෝස සහ කානේශන්වලට ප්‍රිය කරන පිරිමින් ඔවුන් සමඟින් ජීවිතය ගෙවනු ඇත. සූරියකාන්ත මලක් හඳුනා ගැනීමම සිය ජීවිත කාලය තුළ පිරිමියකුට අභියෝගයකි. ප්‍රමාද වී හෝ හ¾දුනා ගත් කල අතහැර ගැනීම අපහසුය. ඔවුන් හමුවීම පිරිමියකු හට ජීවිතයේ සොඳුරු සහ ශෝකාන්ත සිදුවීම් රැසක් සහිත බොහෝ අන්තයන් පසක් කර දෙනු ඇත.

තාරිකා ද සිල්වා