අවුරුදු 6ක දරුවාගේ ගෙලට පිහිය තබා තර්ජනය කළ පියා රක්‍ෂිතයට

0
14

වයස අවුරුදු 6ක සිසුවකුගේ ගෙලට පිහියක් තබා වීඩියෝ සකසමින් විදෙස් රටක සිටි මවට යැවූ සැකකාර පියා මේ මස 22දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි කුලියාපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය පෙරේදා (14දා) පස්වරුවේ නියම කළාය.

කුලියාපිටිය, පහළ පිදුම දිමුතු මාවත පදිංචිකරුවකු වූ දෙදරු පියකු එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිසිය අදාළ සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ දරුවා මරා දැමීමට සැකකරු විසින් උත්සාහ කරන බවක් පෙනී යන බවයි. එමෙන්ම දරුවා කෑ ගසමින් එම ක්‍රියාව නවතන ලෙසට පියාගෙන් ආයාචනය කරන විටත් තවදුරටත් දරුවාගේ ගෙල ප්‍රදේශය පිහියෙන් තද කරනු එම වීඩියෝ දසුන් පෙළ නිරීක්‍ෂණයේදී දැකගත හැකිවූ බවද අධිකරණයේ අවධානයට යොමු කරමින් පොලිසිය පැවැසූයේ ඒ අනුව පියා දරුවා කෘෘරත්වයට පමුණුවන බවයි.

එමෙන්ම ජනමාධ්‍ය මඟින් හා සමාජ මාධ්‍ය මඟින් එම වීඩියෝ පටය මුල්කරගෙන සමාජ කතිකාවතක් ගොඩනැඟී ඇති බවද පවසමින් සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට පොලිසිය තරයේ සිය විරෝධය පළ කළේය. දරුවා මේ වනවිටත් සිය මිත්තණිය භාරයේ ඇති බවටද අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසියට එහිදී පූර්ණ පරිවාස වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසට නියම කෙරිණි.

කුලියාපිටිය නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා සැකකරු ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර නීතිඥ කැලුම් හෙට්ටිගමගේ මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

කුලියාපිටිය – ශාඛ්‍ය ඉඳුවර