මනුෂ්‍ය ඝාතන දෙකක්

0
403

පේරාදෙණිය, පිලපිටිය ප්‍රදේශයේ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගල ඝාතනයක් සිදු වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, පුද්ගලයෙකු තව ත් පුද්ගලයින් දෙදෙනෙකුට සහ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර පසුව තුවාලකරුවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 47ක් වූ පිලපිටිය, කිරිබත් කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකරුගේ නැගණියගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර මහකුඹුක්කඩවල, කවයන්කුලම ප්‍රදේශයේ වත්තක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව මියගොස් තිබේ.

මරණකරු වයස අවරුදු 56ක් වූ කෝන්වැව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මරණකරු වැඩ කරමින් සිටි වත්තේ වැඩකළ තව ත් පුද්ගලයින් දෙදෙනකු සමග පෙරේදා (අගෝ.13) රාත්‍රී කාලයේදී මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.