Prey බලපු හැමෝම පිස්සුවෙන් හොයන රණශූර කෙල්ල

0
115

කොමාන්චේ නම් ගෝත්‍රය මීට වසර 300කට පමණ පෙර භයානක විලෝපිකයකුගේ ප්‍රහාරයකට මුහුණ දෙනවා. මේ ප්‍රහාරයෙන් මුළු ගෝත්‍රයම වැනසී යෑමේ අවදානමකට ලක්වන මොහොතක තම ගෝත්‍රය ආරක්ෂා කර ගැනීමට වෙර දරන අභීත ගැහැනු ළමයකු සිටිනවා. ඇයගේ නම නාරු. ගැහැනු ළමයකු වීම නිසාම ගෝත්‍රයේ සාමාජිකයන් ඇයගේ රණශූරියක වීමේ උත්සාහය සාර්ථක වේ යැයි විශ්වාස කරන්නේ නැහැ. නමුත් ශරීර ශක්තියට වඩා උපක්‍රමශීලීත්වය සහ ආත්ම ශක්තිය වැදගත් බව පසක් කරමින් නාරු තමන්ගේ ගෝත්‍රය විලෝපිකයාගෙන් බේරා ගැනීමට සටන් කරනවා. ඉතින් මේ රණශූර ගැහැනු ළමයාගේ උත්සාහය සාර්ථක වනවාද නැද්ද යන්න දැන ගැනීමට නම් ඔබට Prey සිනමාපටය නැරඹීමට සිදු වෙනවා.

අපි අද Her අතිරේකය තුළින් කතා කරන්නේ Prey සිනමාපටයේ නාරුගේ චරිතයට පණ පොවන, සිනමා ලොවට අලුතින්ම පෑයූ ක්‍රියාදාම සිනමා තාරකාවිය ලෙස හඳුන්වා දිය හැකි Amber Midthunder ගැනයි. ඇය ප්‍රධාන ධාරාවේ සිනමා පටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අමෙරිකානු ස්වදේශික රංගන ශිල්පිනියයි. ඇයගේ මේ ආරම්භය තවත් බොහෝදෙනකුට මඟ එළිකරන්නක් විය හැකිය. එය ඇයගේ ජයග්‍රහණයක් පමණක් නොව සියලු අමෙරිකානු  ස්වදේශිකයන්ගේ ජයග්‍රහණයක් ලෙසද සැලකිය හැකියි. Prey චිත්‍රපටය තවමත් 25 වැනි වියෙහි පසුවන Amberගේ ජීවිතයේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. ඇය පවසන පරිදි Prey සිනමාපටය ඇයට අලුත් අපූරු අත්දැකීම් ගොන්නක් එකතු කළ ක්‍රියාදාම ජවනිකා ඇතුළත් අධියථාර්ථවාදී විශිෂ්ට සිනමා නිර්මාණයක්.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝහි 1997 අප්‍රේල් 26 වැනිදා උපත ලැබූ Amber Midthunder කියන්නේ ඇමරිකානු ස්වදේශික ජන කොට්ඨාසය නියෝජනය කරන්නියක්. ඒ වගේම ඇයට යුරෝපානු ස්පාඤ්ඤ සහ ආසියානු කියන ජන වර්ගවල ඥාති සම්බන්ධතාත් තිබෙනවා. ඇය Fort Peck Sioux නම් ස්වදේශික ජන කොට්ඨාසය නියෝජනය කරන සාමාජිකාවක්. ඇයගේ පියා David Midthunder ද ඇමරිකානු සිනමා හා චිත්‍රපට නළුවෙක් වගේම ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටින්නෙක්. (Stunt Performer) ඒ වගේම Amber Midthunderගේ මව  Angelique Midthunder තායිලන්තයේ, බැංකොක්හි උපත ලැබූ කෙනෙක් Amberගේ මව ඛ්චඵබඪදඨ ච්ඪපඥජබධප කෙනෙක් විධියට මෙන්ම ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් පෙනී සිටින්නියක්. (ඉබභදබ ර්ථීඥපටධපථඥප) විධියටත් කටයුතු කරනවා. 

සිනමාවට උරුමකම් කියන පවුලක උපත ලැබූ Amberට තිබෙන්නේ සහජ දක්ෂතාවක්. කුඩා කාලයේ පටන්ම රංගනයට ආදරය කළ ඇය වයස අවුරුදු 17දී රංගනයට සම්බන්ධ වීම සඳහා ලොස් ඇන්ජලීස් වෙත පදිංචියට යනවා. ඇයට රඟපාන්න අවශ්‍ය බව පැවැසූ විට බොහෝ අය පැවැසුවේ ඇයට ඩිස්නි වෙත යන ලෙසයි. නමුත් ඇයට අවශ්‍ය වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් රංගනයක යෙදීමට බව ඇය වරක් පවසා තිබුණා. එම නිසාම තිර අදිටනක සිටිමින් තමන්ට අවශ්‍ය වූ මාර්ගය තෝරා ගැනීමට ඇය සමත් වුණා.

ඇය මුලින්ම රංගනයට පිවිසෙන්නේ The Homecoming of Jimmy Whitecloud චිත්‍රපටය හරහායි. ඉන්පසුව ඇය ඔස්කාර් සම්මානලාභී Alan Arkin සමඟ එක්ව රඟපෑ Smash Sunshine Cleaning චිත්‍රපටය හරහා ඉතාමත් දක්ෂ රංගනයක් ඉදිරිපත් කළා. එතැන් පටන් රංගනයේ නිරත වූ ඇය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම අධ්‍යක්ෂවරියක් ලෙසත් පසුකාලීනව කටයුතු කරනවා. රංගනය සහ නිරූපණය වෘත්තීය වන Amberගේ දළ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5ත් 7ත් අතර ප්‍රමාණයක් පමණ වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Marvel හි  Legion ටෙලි කතා මාලාවේ Kerry Loudermilkගේ චරිතය තුළින් සහ විද්‍යා ප්‍රබන්ධයක් වන CW හි Roswell New Mexico ටෙලි කතා මාලාවේ Rosaගේ චරිතය රඟපෑමෙන් ඇය රසිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා. ඊට අමතරව ඇය “Hell or High Water” චිත්‍රපටය සහ “The Ice Road” චිත්‍රපටය හරහාද නමක් දිනා ගැනීමට සමත් වුණා. සුප්‍රසිද්ධ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ Cris Eyeගේ දියණිය සමඟ

Amber Midthunder Nightslikethes නමින් කෙටි චිත්‍රපටයක සම – අධ්‍යක්ෂණය සිදු කළා. 2014දී එම චිත්‍රපටය වෙනුවෙන් හොඳම තරුණ කෘති‍ය සඳහා වන Ellen Monague සම්මානය ලබා ගැනීමට තරම් ඔවුන් දෙදෙනා වාසනාවන්ත වූවා. ඒ වගේම 2013 වසරේදී ඇය ‘Dont’ කෙටි චිත්‍රපටය හරහා අධ්‍යක්ෂවරියක් ලෙස කැපී පෙනෙන කාර්යයක් ඉටු කළා. හොලිවුඩය ඇයගේ දක්ෂතාව අගය කරන අතර ඉදිරියේදී ඇය සුපිරි තරුවක් වනු ඇති බවට ඒ කාලයේදීම අනාවැකි පළ කළා මෑතකදී ඇය The wheel නමින් ඇය රඟපෑ චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇයගේ රංගනය Prey චිත්‍රපටයේ රංගනයට හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගන්නා බවත් මේ චිත්‍රපට දෙකෙහි වෙනස් වූ රංගනයන් තුළින් ඇයගේ දක්ෂතාව අපූර්ව ලෙස පෙනෙන බවත් විචාරකයන් පවසා තිබුණා.

සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී දිදුලන තරුවක් වන ඇයගේ ගිණුම් තුළ මිලියන ගණනක් අනුගාමිකයන් සිටිනවා. රංගනයට අමතරව Amber විනෝදාංශ ලෙස පොත් කියවීමට විශාල කැමැත්තක් දක්වන බව ඇය පවසනවා. ඒ වගේම චිත්‍රපට නැරඹීමටත් විවේකයක් ලැබෙන අවස්ථාවලදී අනාථ නිවාසවල සිටින දරුවන් සමඟ කාලය ගත කිරීමටත් ඇය කැමති බවයි ආරංචි වන්නේ. මේ නිසා ඇය විවේකයක් ලැබෙන සෑම අවස්ථාවකදීම අනාථ නිවාසවලට යන බවත් පැවැසෙනවා.

Amber කුඩා කාලයේදී  ඇයගේ මවුපියන් Jiu-jitsu සහ සටන් කලාව පිළිබඳව පන්ති කළ අතර ඇය එම පන්ති සඳහා සම්බන්ධ වී Jiu-jitsu සහ Tae Kwon Do ඉගෙන ගෙන තිබෙනවා. ඇය කාලයක් කුඩා දරුවන්ට Jiu-jitsu සහ Tae Kwon Do උගන්වා තිබෙනවා. ඇය ඒ කාලයේ සිතා තිබෙන්නේ වෘත්තියෙන් සටන් කලාව උගන්වන ගුරුවරියක් වීමට තමන්ට සිදු වනු ඇති බවයි. නමුත් ඇය Prey චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලදී පවසා තිබුණේ එම ක්‍රීඩාවන් සහ සටන් කලාව ඉගෙන ගෙන තිබීම Prey චිත්‍රපටයේ රංගනයට ඉවහල් වූ බවයි.

ඒ වගේම සත්ත්ව හිංසනයට විරුද්ධව සතුන් වෙනුවෙන් පෙනී සිටින ඇය Return to Freedom සංවිධානයෙහි තරුණ තානාපතිනිය ලෙසත් කටයුතු කරනු ලබනවා. මෙම සංවිධානය මඟින් කැලෑ අශ්වයන් මරණයෙන් බේරාගෙන නිදහස් කිරීමට උපකාර කරනවා. වරක් මාධ්‍යවේදිනියක් Amber ගෙන් තමන් සමඟ එකම නිර්මාණයක සම රංගනයේ යෙදෙන්නට කැමැති නිළිය කවුදැයි විමසූ විට Amber කියා සිටියේ රැජනියන් අතර රැජනිය වන Meryl Streep සමඟ රඟපාන්නට තමන් සිහින මවන බවයි. ඒ වගේම ඉතාම සරල විලාසිතාවලින් සැරසී ගමන් බිමන් යෑමට තමන් කැමැති බවත් ඇය පවසා තිබුණා. කෙසේ නමුත් විලාසිතාවලදී ඇය වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ කරාබුවලට බවයි ඇය පැවැසුවේ. ඇය විවිධ වර්ගයේ කරාබු විලාසිතා විශාල එකතුවක් තිබෙන බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

Amber Midthunderගේ අතීත පෙම් සම්බන්ධතා ගැන තොරතුරු කිසිවක් ඇය මාධ්‍ය වෙත පවසා නැහැ. ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැනගන්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. නමුත් ඇය කාලයක සිට රිවර් තෝමස් සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යනවා. ඇය තම පෙම්වතා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මාධ්‍ය සමඟ බෙදා නොගත් නමුත් ඔහු සමඟ සිටින ඡායාරූප කිහිපයක්ම ඇයගේ Instagram ගිණුමෙහි පළකොට තිබෙනවා. රිවර් තෝමස්ද ඔවුන්ගේ ඡායාරූප ඔහුගේ Instagram ගිණුමේ වරින් වර පළ කර තිබෙනවා.

මේ වනවිට ටෙලි නිර්මාණ 09ක සහ සිනමා නිර්මාණ 23ක පමණ රඟපාමින් සිය රංගන කුසලතාව පෙන්වූ Amber Midthunderගේ තවත් අපූරු රංගනයන් සහ ක්‍රියාදාම ජවනිකා ඉදිරියේදීත් දැකගන්න ලැබෙනු ඇතැයි බොහෝ විචාරකයන් මෙන්ම අපද බලාපොරොත්තු වනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර