“ගෝඨාභයට සරණාගතභාවය ලබා දෙන්න හොඳ ම තැන යාපනයයි”

0
339

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සරණාගතභාවය ලබාදිය හැකි හොඳ ම ස්ථානය යාපනය යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් පැවසීය.

ඔහු මේ බව පැවැසුවේ යාපනයේදී පෙරේදා 13 පැවති මාධ්‍ය හමුවකදී ය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීවේ ය.

“යුද්ධය කාලයේදී අපගේ ජනතාවට පහරදෙන විට අපගේ ජනතාව පිටරටවලට ගියා. බොහෝ අය කියන කතාවක් තමයි ඔවුන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න එදා මෙරටින් පැන ගියා ය කියන කතාව.

නමුත් එය එසේ නොවෙයි. එදා අප පළාත්වල සෑම නිවසක ම ජීවිත පිළිබඳ යම්කිසි බයක් තිබුණා. අප පළාත්වල මිනිස්සු තමන්ගේ දරුවන් සමග ඔවුන්ට හැකි සෑම මාර්ගයකින් ම මෙරටින් ගියා.

එම රටවලට සරණාගතයන් ලෙස ගොස් මේ වනවිට ඒ ඒ රටවල ස්ථිර පදිංචිකරුවන් බවට පත්ව සිටිනවා. ඔවුන්ව එම රටවල සරණාගතයන් බවට පත් කළේ, මේ ගෝඨාභය රාජපක්ෂයි. එදා අපේ මිනිස්සු ගියේ තමන්ගේ ඥාතීන් අහිමිකර ගනිමින්. ඔවුන් ඒ ආකාරයෙන් පිටත් වන විට සාප කළා. අඳෝනා නැඟුවා. ඒවා අපි කන්වලින් අසා තිබෙනවා.

ඔහු ලෝකේ සෑම රටකට ම යනවා. නමුත් ඒ කිසිම රටක් ඔහුව පිළිගන්නේ නැහැ. ඇත්තෙන් ම ඔහුට දැන් අවශ්‍ය නම් යාපනයේ ආරක්ෂිතව සරණාගතයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔහුට සරණාගතයෙක්ව ජීවත්වීමට එතරම් හොඳ ස්ථානයක් තවත් නැහැ. ඒතරම් අපගේ සිත් වේදනාවට පත්ව තිබෙනවා.

ඔහු එය කෙසේ තේරුම් ගනී ද කියා මම දන්නේ නැහැ. ලෝක සම්ප්‍රදාය අනුව සුදුකොඩි රැගෙන පැමිණි කිසිවෙකුටත් වෙඩි තබන්න බැහැ. ඔවුන්ට ආරක්ෂාව ලබාදිය යුතුයි. එම අවස්ථාවේ වෙඩි තැබූ අයෙකුගෙන් කෙනෙක් වන්නේ නඩේෂන්ගේ බිරියයි. ඇය සිංහල කාන්තාවක්. මේ සියල්ල අප දරාගෙන සිටිනවා. එයට හේතුව අප සතුව වෙනත් බලයක් නොමැතිකමයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමහසිංහට දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමේ අවංක වුවමනාවක් තිබේ නම් පළමුව සිදුවන මර්දනයන්, අත්තනෝමතික කටයුතු නතර කළ යුතුයි. නමුත් ඔහුත් දූරය භාරගත් වහා ම කළේ හමුදාව හමුවීමට යාමයි. ඒ නිසා ඔහු ත් හමුදාව පවසන ආකාරයට කටයුතු කරනු ඇද්දැයි යන සැකයක් අපට ඇතිව තිබෙනවා.”