දෛනික විදුලි කප්පාදුව දිගු වෙයි

0
1202

අද (අගෝ. 15) සිට දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ විදුලි ජනන යන්ත්‍ර 2ක් බිඳ වැටීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ය.

ඒ අනුව, විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව එම මණ්ඩලය පැවසීය.

මීට පෙර විදුලි බල මණ්ඩලය නිවේදනය කර තිබුණේ, අද සහ හෙට (අගෝ. 16) දෙදින විදුලි කප්පාදුව පැය 1යි විනාඩි 20ක් පමණක් සිදු කෙරෙන බව ය..

මේ අතර, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, සිදු වී ඇති දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බව ය.

ඔහු පෙන්වා දෙන්නේ, බලාගාරයේ දෙවන ඒකකයේ නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බව ත් බලාගාරයේ තුන්වන ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ත් ය.

විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.