අධිකරණය ස්වාධීන කිරීම සඳහා ජනාධිපති ලේකම්ගෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝගයක්

0
216

රජය හෝ රාජ්‍ය නිලධාරී පාර්ශවකරුවන් අධිකරණ කටයුතුවලදී ඍජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (අගෝ. 15) ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම සිදු කර ඇති බව ය.

ඒ අනුව, අදාළ නිලධාරීන් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරීන් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග ඍජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

එම කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග ලිපි ගනුදෙනු කරන්නේ නම් එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ.