ළමා අපයෝජන පිළිබඳව දැනගතහොත් 1929 ට දැනුම් දෙන්න

0
14

ළමයින් අපයෝජනය හෝ හිංසා කිරීමේ සිද්ධීන් දැනගතහොත් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ 1929 හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එහි සභාපති ජේ‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම්දී දරුවන් වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියි.

ළමා අපයෝජන හෝ හිංසා කිරීමේ සිද්ධීන් වැළැක්වීමට දරුවන්ගේ භාරකරුවන්ට, ගුරුවරුන්ට හා හිතමිතුරන්ට විශාල වගකීමක් පැවරෙන බවද අමරසිංහ මහතා පෙන්වා දෙයි.

ගාල්ල හබරාදුව ළමා අපයෝජන සිද්ධියේදී තවත් දරුවන් ගණනාවක් ගොදුරුවූ බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයිද හෙතෙම පැවැසීය.

ප්‍රතිලාභ, තෑගි බෝග හා මුදල් දෙමින් අපයෝජනයන්ට ගොදුරුකරගත් දරුවන් තවත් සිටින බවට හෝඩුවාවන් ලැබී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව දරුවන්ගේ සාක්‍ෂි ලබාගැනීමේදී ජාතික ළමාරක්‍ෂක අධිකාරියට මැදිහත් වන ලෙස අධිකරණය නියෝග දී ඇතැයිද උදය කුමාර අමරසිංහ පැවැසීය.

අමිත් මධුරංග ගමගේ