විශ්‍රාමික සිවිල් ආරක්ෂකයකුගේ ඝාතනයට සැක තිදෙනෙක් මාට්ටු

0
35

මුස්ලිම් දේවස්ථානයක නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් වූ ආරාවුලක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහරදී විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයකු ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනෙක් පසුගිය 13 වැනි දින අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ අනුරාධපුර, ගම්බිරිගස්වැව, අසිරික්ගම පදිංචිව සිටි කට්ටුතම්බි සරිබු නමැති 67 හැවිරිදි එක් දරුපියකු වන  විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අසිරික්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 24 හා 45 වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් තිදෙනෙකි. එම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක නිලධාරීන් පිරිසක් පත්කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සිය විරෝධය පළ කර ඇති අතර ඊට උරණවූ සැකකරුවන් ඔහුගේ නිවෙසට ගොස් පසුගිය 12 වැනිදා මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයාගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පරසන්ගස්වැව රෝහලේදී අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් කාරියවසම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කෙරිණි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. පරසන්ගස්වැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. සෝමතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිහින්තලේ – සුමේධ කරුණාරත්න