විදුලිබල මණ්ඩලය රටට ජාතික කොඩිවිනයක්

0
29

විදුලිබල මණ්ඩලය රටට ජාතික කොඩිවිනයක් වී ඇතැයි ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ  පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ පැවැසුවාය.එමෙන්ම සිපෙට්කෝ, ලංවිම, ජල සම්පාදන ආයතනය ඇතුළු ආයතන කිහිපයක් වසරකට පමණක්  රුපියල්  කෝටි 28,600ක් පාඩු ලබා ඇති බවත් ආයතනවලින් රටේ එක දවසක පාඩුව රුපියල් කෝටි 79ක් බවත් මන්ත්‍රිවරිය  පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.

පාඩු ලබන ආයතන  පෞද්ගලීකරණය කිරීමට හොඳම කාලය ගතවෙමින් තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

 “ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ එතුමන්  වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කළා. අපි දන්නවා මේ වෙලාවේ රට අර්බුද  තත්ත්වයක තියෙන්නෙ. ආර්ථික, දේශපාලන අර්බුද තත්ත්වයක් තිබෙනවා. අපිට පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ මේ සර්වපාක්ෂික ආණ්ඩුවට විපක්ෂයේ සියලුදෙනා එකඟ වෙයිද කියලා කියන්න.  ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියනවා ස්ථාවරත්වයක් හදාගන්න කියලා. ජාත්‍යන්තර  මූල්‍ය, අරමුදල සමඟ ඉදිරියට යන්න නම් මෙය ස්ථාවර කර ගත යුතුයි. අපේ වගකීම තමයි මේ රට අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මුදා ගැනීම. අපි හැමදෙනාම එකතුවෙලා මේ කඩා වැටුණු දේශය නැවත නඟා සිටුවිය යුතුයි. මේක අවුරුදු දෙකක ප්‍රශ්නයක් නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ ඇදගෙන යන ප්‍රශ්නයක්.

අකාර්යක්ෂමතාව, දූෂණය, වැරදි තීරණ, නිවැරදි තීරණ වෙලාවට නොගැනීම යන මේ හැමදේම නිසා දශක ගාණක් අපේ රට බංකොලොත් වී තිබෙනවා. නිදහසින් පසු මේ සියලු කාරණා බලපෑවා. ඒ වගේම විනිවිද භාවයකින් කටයුතු නොකිරීම මේ අර්බුදයට හේතුවක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහුට කළහැකි සියලු දේ කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ස්ථාවරභාවය අපේක්ෂාවෙන් සිටිනවා. ඒවගේම බදු සම්බන්ධයෙන් අපේ රටේ ගත්තොත් සියයට 15ක බද්ද අයින් කළා.

ශ්‍රී  ලංකා ගුවන් සමාගම ගැනත් කතා කරන්න ඕනේ. ඒ ආයතනය මිලියන ගණනක් පාඩු ලබන ආයතනයක් බවට පත්වෙලා තිබෙනවා. මේක ඇත්තටම හොඳ කාලයක් අත්‍යවශ්‍ය කාලයක් මේ වගේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධව. තව කතාවක් කියන්න ඕනේ සිපෙට්කෝ, ලංවිම, ජල සම්පාදන ආයතනය ඇතුළු ආයතන කිහිපයක් වසරකට පමණක් ලබල තිබෙන පාඩුව කෝටි 28,600ක්. එක දවසක අපේ පාඩුව රුපියල් කෝටි 79ක්. ඉතින් මේ රට බංකොලොත්භාවයට පත්වීම ගැන අපි පුදුම විය යුතුද? මේ වගේ ජාතික සම්පත්වලින් රජය පාඩු ලබනවා නම් මීට වඩා මේවා ගැන සිතිය යුතුයි. පියවරක් ගත යුතු කාලය ඇවිත් තිබෙනවා. විදුලිබල මණ්ඩලය කියන්නෙ ජාතික කොඩිවිනයක් වෙලා රටට. මෙය ප්‍රතිව්‍යුහගත කරන්න පියවර ගෙන තියෙනවා” යැයිද  ඇය වැඩිදුරටත් පැවැසුවාය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි