රෝගයකින් එක්තැන්වූ පුතුට බෙහෙත් කරන්න කුලියට පොල් කඩන අසරණ පියෙක්

0
55

වසර තුනක කාලයක සිට ස්නායු රෝගයකින් එක්තැන්වී සිටින රෝගී පුතුට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට නොමැතිකමෙන් විවිධ බාධක මැද කිතුල්ගස් නැඟ පැණි සකසමින් සහ කුලියට පොල් ගස් නැඟ පුතුට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට මුදල් සොයන අසරණ පියකු පොළොන්නරුව දිඹුලාගල  මැදගම ගම්මානයෙන් අපට මුණගැසිණි.

දිඹුලාගල මැදගම 42,ඡ ඉසුරුගම ලිපිනයේ ජීවත් වන ඩී.එම්. අතුල දිසානායක පනස් එක් හැවිරිදි තිදරු පියා වෘත්තියෙන් පෙදරේරුවකු වුවද මේ දිනවල ඉදිකිරීම් කර්මාන්තය බිඳ වැටීම නිසා ඔහුගේ පුතුගේ රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය මුදල් ඉපයීමට කිතුල් ගස් නැඟීම සහ කුලියට පොල් කැඩීමට සිදුව ඇත. 24 හැවිරිදි ඩී.එම්. දමිත් සුරංග දිසානායක ඔහුගේ පුතු මීට වසර තුනකට පෙර පාසලේදී හිටිහැටියේ ශරීරය අප්‍රාණික වී බිම වැටී ඇත. ඒ අනුව ඔහු පොළොන්නරුව හා නුවර යන රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ගත්තද රෝගය කුමක්ද යන්න හරිහැටි හඳුනාගැනීමට නොහැකි නිසා ඔහු 2019 ජුනි 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දමිත් දිසානායකට ස්නායු රෝගයක් වැලඳී ඇති බවට එම රෝහලේ වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබේ.

එතැන් සිට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට යෑමට අවශ්‍ය වුවද මුදල් නොමැතිකම නිසා අඛණ්ඩව ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි විය. පැවැති කොරෝනා වසංගතය සහ ආර්ථික අපහසුතා නිසා මවුපියන්ට පුතුට ප්‍රතිකාර ලබාදීමටද හරිහැටි වත්කමක් නොමැති විය. පසුව ඔවුන් සතු කුඹුරු ඉඩම රුපියල් ලක්ෂ තුනකට උකස් කර එම මුදල්ද දිසානායකගේ රෝගී කටයුතු සඳහා වැය කෙරිණි. දිඹුලාගල මැදගම මහා විද්‍යාලයේ 11 වසර දක්වා අධ්‍යාපනය ලැබූ දමිත් දිසානායක කොරියන් යෑම සඳහා පන්ති ගියද ඒ සඳහාද විභාගය ලිවීමට ඔහුට මෙම රෝගී තත්ත්වය හරස් විය.

ඇවිදීමට, කෑමට, බීමට, වැසිකිළි යෑමට වාරු නොමැති දමිත් දිසානායකගේ සියලු වැඩ කටයුතු කරන්නේ ඇයගේ  මව චන්ද්‍රා මැණිකේ මහත්මියයි. පුතුට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට කොළඹ යෑම සඳහා දිවා රාත්‍රි කිතුල් ගස් නැඟ මුදල් සෙවීමට වෙර දරන අතුල දිසානායක පියා තම අසරණ භාවය මෙලෙස ඉදිරිපත් කළේය. “මහත්තයෝ මම මේසන් බාස් කෙනෙක් මේ දවස්වල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. ඩීසල් නැති හින්දා මේ පැත්තට බඩු හරියට එන්නේ නැහැ. සිමෙන්ති ගණන් නිසා මිනිස්සු ගෙවල්, ‍ෙදාරවල් වැසිකිළි හදන්නේ නෑ. ඒ නිසා මගේ රස්සාව අහිමි වුණා. මගේ පුතාට දැන් අවුරුදු 3ක් ඉඳලා ඇවිදින්න කරන්න බෑ.

එයාට ස්නායු රෝගයක් නිසා මල්ටි සිරෝසිස් රෝගය හැදිලා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. දැන් එයාට මාස කිහිපයක ඉඳලා බෙහෙත් ගන්ඩ යන්ඩ සල්ලි නෑ. එක පුතෙක් කොළඹ ගිහිල්ලා කුලියට වැඩ කරනවා. දුව මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙනවා. කුඹුර ලක්ෂ තුනකට උකස් කරලා ඒ මුදලුත් අපිට ජීවත් වෙන්නත් පුතාට බෙහෙත්වලටත් වියදම් වෙලා ඉවරයි. දැන් බෙහෙත් ගේන්න යන්න සල්ලි නැති නිසා මම කිතුල් ගස් නැඟලා පැණි බෝතලයක් දෙකක්, හොයලා කුලියට පොල් ගස් නැඟලා කීයක් හරි හොයාගෙන බෙහෙත් ටිකක් ගේන්න තමයි මේ සූදානම් වෙන්නේ. හරියට කිතුල් පැණි බෝතලයක් හොයාගන්නත් අමාරුයි. මොකද රිළව්, වඳුරෝ, මල් විනාශ කරනවා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ පුතා සුවපත් කරගන්න උදවු කරන්න කියලා මම පින් දීමෙන් ඉල්ලා සිටිනවා.” යැයිද අතුල දිසානායක පියාණන් හැඬ­ කඳුළින් අප සමඟ පැවැසීය.

‍ෙදාස්තර මහත්වරු කියන්නේ පුතාට දිගටම ප්‍රතිකාර කළොත් මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් කියලා. එහෙත් බෙහෙත් ගන්න යන්න සල්ලි නෑ. මහත්තයා රෑ දවල් නැතුව කුලියට පොල් ගස් නැඟලා, කිතුල් ගස් මැදලා සල්ලි හොයන්න ලොකු සටනක් කරත් අපිට ඒ සඳහා ඕන මුදල් මදි. පුතාගේ සියලුම වැඩ කරන්නේ මම. ඉතින් පුතාට බෙහෙත් හේත් ගන්න අනිත් වියදම් වලටත් කුඹුර ලක්ෂ තුනකට උකස් කළා. දැන් ඒ කුඹුර බේරගන්නත් පුතාගේ ඉදිරි වැඩ කටයුතු වලටත් මුදල් නැති නිසා මම රට යන්න තමයි ලෑස්ති. ඉතින් මහත්තයෝ දැන් මාස ගණනක් පුතාට බෙහෙත් ගන්න බැරි වුණා. පුළුවන් කෙනෙක් ඉන්නව නම් අපිට උදවු කරන්න. රජයෙන් කියලා අපිට තවම උදවුවක් ලැබිලා නෑ. දමිත් සුරංගගේ මව වන චන්ද්‍රා මැණිකේ මහත්මියද හැඬු­ කඳුළෙන් එලෙස පැවැසුවාය.

අන්ත අසරණතාවට පත්ව සිටින මෙම රෝගී පුතත්, මහා දුක් කන්දරාවක් විඳින මවුපිය යුවළත් ගොඩගැනීමට ඔබට හැකි නම් ඒ උතුම් පින්කමක්. ඔවුන්ගේ දුරකථන අංකය 0779023180. ලිපිනය ඩී.එම්. දමිත් සුරංග, අංක 42/බී මැදගම දේවගල, පොළොන්නරුව මහජන බැංකුව පෙළොන්නරුව 005200180088447

මනම්පිටිය නිමල් ජයරත්න