රාජකීය සොහොයුරන්ගේ කර මතින් සදෙව් පුතා අවසන් ගමන් යයි

0
39

පින්වල ගමට මෙදා පෑයූ නිකිණි පෝය සඳ වෙනදාක් මෙන් නොවීය. පෝදා සඳ මුළු රැය පුරාම කළු වලාවකින් වැසී ගියාක් වැන්න. සෑම ගෙදරක්ම එකම අ‍ෙ¼දා්නාවකින් ගිගුම් ලන්නට විය. අෑතින් හඬ නඟා ඉගිළෙන්නට වූ කණකොක් රංචුවේ නාදයෙන් ඒ මූසල බව තව තවත් තීව්‍ර කෙරිණි. ඒ හෙට ලොව භාර ගන්නට විකසිත වෙමින් තිබූ මල් කැකුළක් බඳු පුංචි විහඟ සදෙව් පුතුගේ හදිසි අභාවය නිසාය.  “මාලමුල්ලෙ හන්දියේ ඇක්සිඩන්ට් එකක් වෙලා රියැදුරු පුහුණු පුවරුවක් සහිත වාහනයක්ලු. පොඩි පුතෙක් අන්ත්‍රා වෙලාලු” ක්ෂණයෙන් මාලමුල්ල, පින්වල  ගම් පුරා ප්‍රචාරය වන්නට විය. ඒ තම පුතා යැයි විහඟගේ මවුපියෝ සිහිනෙකින්වත් නොසිතූහ. එහෙත් ඒ ආරංචිය තමන්ගේම පුතා යැයි ප්‍රත්‍යක්ෂ වීමට වැඩි වෙලාවක් ගත නොවීය.

නිකිණි පොහෝ දින උදෑසන උපකාරක පන්තියකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී කාන්තාවක පැද වූ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ විහඟ සදෙව් අවසන් ගමන් යන්නේය. පාපැදියෙන් පැමිණෙමින් සිටි ඔහු මාලමුල්ල හන්දිය අසල පාපැදිය නවතා සිටියදී අනතුර සිදුව ඇත. දාහතර හැවිරිදි විහඟ සදෙව් පානදුර පින්වල සුසාන භූමිය පාරේ පදිංචිව සිටියේය. අනතුරින් පසු තරුණයන් දෙදෙනකු විසින් ඔහු ත්‍රිරෝද රථයකින් ක්ෂණිකවම පානදුර මූලික රෝහලට ගෙන ගියත් එහි වෛද්‍යවරුන් ප්‍රධාන කාර්ය මණ්ඩලය මහත් පරිශ්‍රමයක් දැරුවත් සදෙව්ට වඩා මාරයා ප්‍රබල වී තිබිණි. වාහනය පැද වූ කාන්තාවද මෙවන් විපතක් වනු ඇතැයි නොසිතන්නට ඇත. එහෙත් වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළා නම් ගමන් කළ පාපැදිය නවතා මාර්ගයේ නැවතී සිටි සදෙව්ට මෙවන් අනතුරක් නොවන්නටද තිබිණි.

පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය  ලැබූ විහඟ ශිෂ්‍යත්ව කඩඉමෙන් පසු ද්විතීය අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ පානදුර රාජකීය විද්‍යාලයටය. ඉගෙනුම් ක්‍රියාවලියෙහි දැක්වූ දස්කම් නිසාම එහිත් දක්ෂයන් සඳහා වෙන් වූ සුපිරි ශේ‍ර්ණියේ පන්තියකටම ඔහු යොමු කෙරෙන්නේය. පාසලේ මෙන්ම ගමේද ඔහු කාගේත් සිත් දිනා ගත්තෙක් විය. නිතරම ගමේ ඒ මේ අත සරමින් කෙළිදෙළෙන් සැමගේ ආදරය දිනා සිටියකු බවට ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ශෝක වූ දහස් සංඛ්‍යාත ජනතාවම සාක්ෂ්‍යක් විය.

“සදෙව් පුතා අපේ පාසලට ආවේ 06 ශේ‍ර්ණියට. පැමිණි දින පටන්ම ඔහු පාසල් පැමිණි අවසන් දින දක්වාම කිසිම ගුරුවරයකුගේ සිත් රිදවා නැහැ. කිසිම වැරදි වැඩක් කරල නැහැ. හැමෝත් එක්කම සුහදශීලීව කටයුතු කළා. සදෙව් පුතාගේ ජීවිතය අහිමි වන්නට වූ මේ අනතුර  එයාගේ අනිසි ක්‍රියාකාරකම් නිසා වූ දෙයක් නම් හිත හදා ගන්න තිබුණා. වැඩිහිටියන් වශයෙන් අපි පාරේ යනකොට වඩාත් සැලකිලිමත් විය යුතුයි. නැත්නම් අපිට මේ වගේ අහිංසක මල් කැකුළු අකාලයේ අහිමි වෙනවා” යැයි පානදුර රාජකීය විද්‍යාලයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිනි ඩී.පී.කේ.කේ. කොතලාවල මහත්මිය අවමංගල්‍ය සභාව අමතමින් පැවැසුවාය. පින්වල පාඨලීරුක්ඛාරාම විහාරස්ථ ශ්‍රී  ධර්මවර්ධන දහම් පාසලේ නවය ශේ‍ර්ණියේ කීර්තිමත් සිසුවකු වූ සදෙව් දහමට ඉතාම ළැදි අයකු වූ බව ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පින්වල චන්දරතන හිමියෝ අවසන් ආගමික වතාවත් සිදු කරමින් පැවැසූහ. පසුගිය වස් කාලය පුරා සෑම දිනකම විහාරස්ථානයට පැමිණෙමින් භික්ෂුන් වහන්සේලාගේ සුව දුක් විමසමින් විහාරස්ථානයේ අලංකරණ කටයුතුවලටද සක්‍රියව සම්බන්ධ වෙමින් කටයුතු කළ ආකාරය උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.

පානදුර රාජකීය විද්‍යාලයේ මෙන්ම ශ්‍රී  ධර්මවර්ධන දහම් පාසලේ සොයුරු සොයුරියන් විශාල පිරිසක් සදෙව්ගේ නිවෙසට පැමිණ සිටියත් ඔහු නිසොල්මනේය. තම මව, පියා, සොයුරා විලාප තබමින් ශෝක වුවද ඔහු නිහඬය.

මිලාන්, චම්පිකා, යුවළගේ වැඩිමහල් පුතණුවන් වූද, තිසඟ පුතුගේ ආදරණීය සොයුරා වූද, විහඟ සදෙව් පෙරේදා (13දා) සන්ධ්‍යාවේ පින්වල පොදු සුසාන භූමිය වෙත ගියේ තමන් සිප් සතර හදාරමින් සිටි රාජකීය විද්‍යාලයේ සොයුරන්ගේ කර මතිනි. ඒ නැවත නොඑන්නටමය. රිය අනතුරු නිසා අකාලේ මිලින වන මල් කැකුළු බොහෝය. එවැනි අනතුරක් නිසා ජීවිතය පුද දෙන්නට සදෙව්ටද සිදු විය.

සදෙව් අවසන් ගමන් යන්නේ වාහනයක් පැදවීමේදී වගකීම සහ දැඩි සැලකිල්ල අතවශ්‍යම කරුණක්ය යන පණිවුඩය සමස්ත සමාජයට ලබා දෙමින්ය.

වාද්දුව – ජානක හෙට්ටිආරච්චි, පොතුපිටිය – සුමිත් රණවක