‘රනිල්’ අපි රැකගත යුතු ජාතික වස්තුවක්

0
36

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සම කළ හැකි ‍වෙනත් නායකයෙක් ලෝකයේ නොමැති බවත්, සියලු පාර්ශ්වයන් එකතු කරගනිමින් එතුමා ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබාදුන්නොත් රට නියත වශයෙන්ම ගොඩගත හැකි බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසයි.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (14දා) මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය සතියේදී එතුමන්ගේ රාජාසන කතාවෙන් රට ගොඩනඟන වැඩපිළිවෙළ මුළු රටටම ඉදිරිපත් කළා. ඒ සඳහා සියලු දෙනාටම එකතු වෙන්න කියලත් එතුමා ආරාධනා කළා.

පාර්ලිමේන්තුවේ ඉන්න 225න් බහුතර ප්‍රමාණයකගේ අදහස් සහ ඔවුන්ගේ සිතුවිලි පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ එක පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂය අමතක කරන්න. රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය තබන්නේ තමන්ට ගැළපෙන නොගැළපෙන දේශපාලනඥයන්.

ලංකාව මේ වනවිට ඉතිහාසයේ නරකම තැනට පත් කර තිබෙනවා. මේ රටේ ව්‍යාපාරිකයන් සියලු දෙනාම විනාශ වෙලා තිබෙනවා. මේ රටේ මධ්‍යම පන්තියත් විනාශයි. මේ රටේ පහළම පන්තියත් විනාශයි. රාජ්‍ය  යාන්ත්‍රණයත් ඉවරයි. පෞද්ගලික අංශත් ඉවරයි. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය විශ්වාසය තබලා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට යෑමේදී එතුමා ප්‍රකාශ කළා රට පත්ව තිබෙන මේ අර්බුදයෙන් ගොඩගන්නා බව. ඒ අනුව පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් සහ අවුරුදු 2ක් දැකපු නැති පොහොර ප්‍රශ්නය අවසන් කරනවා කියලත් එතුමා සඳහන් කළා.

මට පේනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ කියූ දේවල් එකින් එක ඉටු කරගෙන යන බව. ඒ දේවල් ඉටුකරගෙන යනවිට අර නොගැළපෙන දේශපාලන මහජන නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කෙරෙහි තබා ඇති විශ්වාසය හැම තත්පරයකම වැඩි වෙමින් පවතිනවා.

ඒක රටට හොඳයි. ඒක රටට වාසිදායකයි. එක ආසනයක් තිබුණු එකත් රටට වාසිදායකයි. ගොඩක් තිබුණ නම් ගොඩක් ගැටුම් තිබෙන්න පුළුවන්. අද රනිල් වික්‍රමසිංහ මහතා කියලා කියන්නේ ජාතික වස්තුවක්. ඒ ජාතික වස්තුව ශ්‍රී   ලංකාවේ යහපත සඳහා, ආසියාවේ ඉහළ තැනක ඔසවා තැබීම සඳහා, ලෝකයේ ඊළඟ පරම්පරාවට ලංකාව පිළිගත් රටක් හැටියට ඔසවා තැබීම සඳහා ප්‍රයෝජනයට ගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එම නිසා මේ කර්තව්‍ය සාර්ථකව ඉටු කළ හැක්කේ එතුමාට පමණයි. මම හැම වෙලාවෙම අහන ප්‍රශ්නයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ඉහළින් ලෝකයේ වෙනත් නායකයෙක් සිටිනවා නම් ඒ කවුද කියලා ප්‍රකාශ කරන්න කියලා.

කෙසේ හෝ ලෝකය තුළ එතුමට ඉහළින් සිටින වෙනත් නායකයෙක් සිටී නම් අපි ශ්‍රී  ලාංකිකයන් ලෙස ලැජ්ජ විය යුතුයි.

ශ්‍රී  ලාංකික මහජනතාව මේ අවස්ථාවේදී ඉතාම වාසනාවන්තයි. රනිල් වික්‍රමසිංහ මහතාට සම කළ හැකි වෙනත් නායකයෙක් ලෝකය තුළ ඉන්නවාද කියලා ශ්‍රී  ලාංකිකයන් සොයා බැලිය යුතුයි.

රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ලෝකයේ සිටින බලවත් නායකයෙක් මේ වෙලාවේ ලංකාව පාලනය කරනවා. එතුමා ආරක්ෂා වෙලා මෙතැනට ආපු එක ගැන ශ්‍රී   ලාංකික ජනතාව සතුටු විය යුතුයි. එම නිසා මහජනතාව හැටියට අපි ඒ සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබාදිය යුතුයි.

සඳුනි ගමාරච්චි