මම ඔලිම්පික් ගිහින් ලංකාව දිනවනවා

0
77

ගැහැනු පිරිමි ලෙස බෙදා වෙන් වූවත් පිරිමි ළමුන් මෙන්ම ගැහැනු ළමුන් ද ශක්තිමත් බව ලොවක් ඉදිරියේ විදහා දක්වමින් ලාංකේය දිරිය දියණියන්ගේ අභිමානය ජාත්‍යන්තරයේ සනිටුහන් කරමින් වසර 92ක පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙනදී පළමු වරට ඓතිහාසික මල්ලවපොර පදක්කමක් දිනා දුන් අවුරුදු 18ක් වයසැති ළාබාලතම ක්‍රීඩිකාව ඇයයි. ඇය සැබැවින්ම අහිංසකාවියක්. ඇය නමින් නෙත්මි අහිංසා පෝරතොටගේ. මෙවර ඩ්ඥප සමඟ ඇයගේ තොරතුරු බෙදා ගන්නට මෙලෙස එක් විය.

–              පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වී ඔබ ලංකාවට පැමිණියේ කවදාද?

මම ලංකාවට පැමිණියේ පසුගිය 08 වැනිදා එනම් සඳුදා දිනයේදී.

–              ඔබ මල්ලවපොර ක්‍රීඩාවට යොමු වන්නේ කෙසේද?

මම 2018 වර්ෂයේදී තමයි මල්ලවපොර ක්‍රීඩාව පටන් ගත්තේ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ 53 බර පන්තිය යටතේ ක්‍රීඩා කළ එම්.බී. චමෝද්‍යා කේෂානි මගේ හොඳම යාළුවා. ඇය තමයි මුලින්ම මල්ලවපොර ක්‍රීඩාව කරන්න ගත්තේ. එයා මාස දෙකක් මුලින් ක්‍රීඩා කළා. එයයි මගේ පුහුණුකරුයි ගෙදරටම ඇවිත් මවුපියන්ගෙන් අවසර ගන්නවා මාව මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ කර ගන්න. ඊට පසුව මම මගේ හොඳම යාළුවා සමඟ එකට පුහුණුවීම් කටයුතු සිදු කරනවා. එහෙම තමයි මම මල්ලවපොර ක්‍රීඩාවට යොමු වුණේ.

–              ඔබේ පුහුණුවීම් කටයුතු සිදුවන ආකාරයත් මතක් කළොත්?

මම හැමදාම පුහුණුවීම් කටයුතු සිදුකළා. ඉරිදා දිනයට තමයි විවේකයෙන් ඉන්නේ. එදාට ක්‍රීඩා තරග වීඩියෝවලින් නරඹනවා. පුහුණුවීම් කරන මෙට්ටය මතම තමයි වැඩි වෙලාවක් කාලය ගත කරන්නේ.

–              ඔබ මල්ලවපොර ක්‍රීඩාවට අමතරව සිදු කරන වෙනත් ක්‍රීඩා තිබේද? ඒ ගැනත් සඳහන්

කරමු.

මම දැන් නම් මල්ලවපොර ක්‍රීඩාව පමණයි සිදු කරන්නේ. මල්ලවපොර ක්‍රීඩාවට එන්න කලින් නම් මම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගවල කවපෙත්ත විසිකිරීම හා යගුළිය දැමීම යන ක්‍රීඩාවලට සහභාගි වෙලා තිබෙනවා.

–              ඔබ මල්ලවපොර ක්‍රීඩාව සිදු කරන බර පන්තිය ගැනත් මතක් කරමු?

57 බර පන්තිය යටතේ තමයි මම ක්‍රීඩා කරන්නේ.

–              ඔබට ක්‍රීඩා කටයුතුවලට නොඅඩුවම සහාය ලබා දුන් ඔබේ පුහුණුකරු මතක් කළ යුතුමයි. ඔහු ගැනත් යමක් සඳහන්

කරමු?

මට පුහුණුවීම් කටයුතු සිදු කරන මාස්ටර්ගේ නම ටී.එස්. සුරංග කුමාර. මාස්ටර් පුහුණුවීම් කටයුතු කරන්න පටන් ගනිද්දීම අනතුරකට ලක් වෙනවා. ඒ අනතුර නිසා ඔහුගේ පාදයත් අනතුරකට ලක්වනවා. එසේ පාදය අනතුරකට ලක්වීමෙන් පසුව යුද හමුදාවෙන් ඔහුට නිවසේ සිටීමට ඉඩ හරිනවා. ඊට පස්සේ තමයි ඔහු රෙස්ලින් කරන්න පටන් ගන්නේ. මගේ හොඳම යාළුවායි මාස්ටර් දෙන්නාම ඇවිත් මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ධ කර ගන්න තාත්තාගෙන් ඇහුවට පස්සේ  තාත්තා එයට කැමැති වෙලා මාව මාස්ටර් යටතේ පුහුණුවීම් කටයුතු සිදු කරන්න යොමු කළා. මගේ අධ්‍යාපනය කටයුතු සහ පුහුණුවීම් කටයුතු වගේම කෑම බීම ගැනත් නිතරම මාස්ටර් සොයා බලනවා. තරගයකට යන්න කලින් මාස්ටර් මාව නිතරම දිරිමත් කරනවා. ඔහු කියන හැමදේම ඒ වගේම සිදු වුණා. මේ වගේ ජයග්‍රහණයක් ලබාගන්න මාස්ටර්ගේ කැපවීම  මට නිරන්තර ධෛර්යයක් වුණා.

–              ඔබ මල්ලවපොර ඉතිහාසය වෙනස් කළ ළාබාලතම ක්‍රීඩීකාව ලෙස මල්ලවපොර ක්‍රීඩාව ගැන ඔබට දැනෙන හැඟෙන දේ සඳහන්

කළොත්?

ඇත්තටම මේ වන තෙක්ම මල්ලවපොර ක්‍රීඩාව ගැන කිසිවකුට දැනුමක් නැහැ. මටයි මාස්ටර්ටයි ඕන කළේ මල්ලවපොර ක්‍රීඩාව ගැන ලංකාවටම කියලා දෙන්න. මල්ලවපොර ක්‍රීඩාව අතීතයේ රජවරු විසින් සිදු කරන ලද ක්‍රීඩාවක්. ඔවුන් විදේශ රටවල රජවරුන් සමඟ මල්ලවපොර ක්‍රීඩාව සිදු කරමින් ජයග්‍රහණ ලබා තිබෙනවා. මල්ලවපොර ක්‍රීඩාව ඒ වගේ ප්‍රෞඪ ඉතිහාසයයක් තිබෙන ක්‍රීඩාවක්. මට ඕන මල්ලවපොර ක්‍රීඩාව හැමෝගේම අවධානය යොමු වන, කැමැත්තක් ඇති කරන ක්‍රීඩාවක් කරන්න. තවදුරටත් ලංකාව පුරා මල්ලවපොර ක්‍රීඩාව ප්‍රචලිත කරන්නත් මම උත්සාහ කරනවා.

–              ගැහැනු ළමයෙක් වශයෙන් මල්ලවපොර වගේ ක්‍රීඩාවක් තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔබට ඇති නිහතමානී ආඩම්බරය ගැනත් සඳහන් කළොත්?

ඇත්තටම ගැහැනු ළමයි පිරිමි ළමයි කියලා බෙදා වෙන් කළත් ගැහැනු ළමයි කියන්නෙත් ශක්තිමත් පිරිසක්. ගැහැනු ළමයෙක් වශයෙන් ඒ ගැන මම අභිමානයෙන් සිටිනවා.

–              මල්ලවපොර ක්‍රීඩාවට උනන්දුවක් ආසාවක් දක්වන අයට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

මල්ලවපොර කියන්නේ ගොඩක් හොඳ ක්‍රීඩාවක්. ක්‍රීඩා කරන කෙනා වගේම ක්‍රීඩාවට කැපවෙන පුහුණුකරුවෙක් ඉන්නවා නම් ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න පුළුවන්.

–              ක්‍රීඩා කටයුතුත් අධ්‍යාපන කටයුතුත් ඔබ සමබරව කරගෙන යන්නේ කෙසේද?

මම සෑම කාර්යයක්ම එදාම කරන කෙනෙක්. අධ්‍යාපන කටයුතුවලදීත් වැඩ කල් දමන්නේ නැහැ. ඒ වැඩ දෙන දිනයේම එය සිදු කරලා අවසන් කරනවා. ඒ නිසා බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යනවා.

–              මල්ලවපොර ක්‍රීඩිකාවක් ලෙස ශාරීරික සුවතාව පවත්වා

ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ ඔබේ ශාරීරික සුවතාව පවත්වාගෙන යෑමට සිදු කරන දේවල් මොනවාද?

මම ශාරීරික සුවතාව පවත්වාගෙන යෑමට ව්‍යායාමවල නිරත වෙනවා. ඊට අමතරව ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවා. හැමදාම සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා. ශාරීරික සුවතාවට මානසික මට්ටමත් බලපානවා. ඒ නිසා මම නිතරම මානසික මට්ටම යහපත් ලෙස පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා.

–              ඔබේ පවුල, පාසල සහ පවුලේ තොරතුරුත් කියමු? 

මගේ පවුලේ මමයි, අම්මායි, තාත්තායි,  අක්කායි, නංගියි, මල්ලියි තමයි ඉන්නේ. මම පවුලේ දෙවැන්නා. ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මගේ පවුලේ සියලුම දෙනාම නිරන්තරයෙන්ම මට සහයෝගය දෙනවා. අක්කා තමයි මාව පොඩි කාලේ සිටම බලාගත්තේ. මම පොඩි කාලේදි මගේ අම්මායි, තාත්තායි දෙන්නම රට ගියා. මගේ පාසල වෙල්පල්ල මහ විදුහල. මගේ පාසලේ හිටපු විදුහල්පතිතුමා ධම්මික සතරසිංහ සර් සහ පාසලේ දැන් සිටින විදුහල්පතිතුමා වන අරුණ ශාන්ත සර් මගේ ක්‍රීඩා හැකියාවෙන් ඉදිරියටම යෑමට නිරන්තරයෙන්ම සහයෝගය ලබා දුන්නා. මම දැන් 12 වසරේ ඉගෙනුම ලබනවා. අ.පො.ස. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාව යටතේ විෂයන් හදාරනවා. මම ජීවත් වන්නේ “ඉදිමින්න වෙල්පල්ල” ප්‍රදේශයේ.

–              අනාගත බලාපොරොත්තු මොනවාද?

මගේ අනාගත බලාපොරොත්තුව මල්ලවපොර ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමයි. ඊට අමතරව අධ්‍යාපන කටයුතුත් ඉදිරියට හොඳින් කරගෙන ක්‍රීඩා අංශයෙන්ම තවදුරටත් ඉදිරියට යෑමටත් බලාපොරොත්තු වෙනවා.

ටී. නපුනි සමෝද්‍යා වත්තේගම