බංග්ලාදේශය නැවතත් හතුරු දෙසට හැරෙයි

0
30

ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරඟවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ සංචිතය එරට ක්‍රිකට් පරිපාලනය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී එම තරගාවලිය වෙනුවෙන් නායකත්වය සකීබ් අල් හසන්ට පිරිනමා තිබීම විශේෂත්වයකි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල බලධාරීන් සහ සකීබ් අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඔහුට නායකත්වය පැවරීමට තීරණය කර තිබීමද කැපී  පෙනෙන සිදුවීමකි.

කෙසේ වෙතත් බංග්ලාදේශ පිල සිම්බාබ්වේ සංචාරයේදී ලද අමිහිරි පරාජයත් සමඟින් එරට ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකත්වය සම්බන්ධයෙන් යම් කතාබහක් නිර්මාණය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබිණි. ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල මෙහෙයුම් කමිටු ප්‍රධානී ජලාල් යූනුස් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වැනි ආක්‍රමණශීලී පුහුණුකරුවකු තම කණ්ඩායමට අත්‍යවශ්‍ය බවයි.

එහිදී තවදුරටත් අදහස් දක්වා තිබූ බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා මෙසේද පවසා තිබිණි. “අපි මෙයට පෙරත් තරග පරාජයට පත්ව තිබුණද සිම්බාබ්වේහිදී ලද පරාජයත් සමඟින් පැහැදිලි වන්නේ අපගේ ක්‍රීඩකයින් තුළ මීට වඩා ආක්‍රමණශීලීත්වයක් පැවැතිය යුතු බවයි. “කෙසේ වෙතත් ආසියානු කුසලානයට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් අපගේ ජාතික කණ්ඩායමේ වත්මන් පුහුණු කාර්ය මණ්ඩලය සමඟින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඒ පිළිබඳ නිෂ්චිත තීරණයකට එළැඹිය යුතුයි. කෙසේ වෙතත් වත්මන් පුහුණු කාර්ය මණ්ඩලය මෙන් නොව වඩාත් ආක්‍රමණශීලී ප්‍රධාන පුහුණුකරුවන් අප සතුව සිටියා. චන්දික හතුරුසිංහ එවන් පුහුණුකරුවෙක්. ඒ අනුව හතුරුසිංහ වැනි පුහුණුකරුවකුගේ අවශ්‍යතාව අපිට වඩාත් තදින් මේ අවස්ථාවේ දැනෙනවා. අපගේ වත්මන් පුහුණුකරුවන් අත්දැකීම් බහුල වුවත් අපට අවශ්‍ය ආක්‍රමණශීලිත්වය දක්වන්නේ නැහැ. ආක්‍රමණශීලී පුහුණුකරුවකු අපගේ ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරනවා.”

ආසියානු කුසලානය ස¼දහා වන බංග්ලාදේශ සංචිතය –

සකීබ් අල් හසන් (නායක), අනමුල් හක්, මුෂ්ෆිකර් රහීම්, අෆිෆ් හොසේන්, මොසදික් හොසේන්, මහමුදුල්ලා, මෙහෙදි හසන් මිරාස්, මෙහෙදි හසන්, මොහොමඩ් ශයිෆුඩීන්, හසන් මහමුද්, මුෂ්ටෆිසුර් රෙහෙමාන්, නසුම් අහමඩ්, ශබීර් රෙහෙමාන්, එබ්දත් හුසෙන්, ෆර්විස් හුසේන්, නුරුල් හසන්, ටස්කින් අහමඩ්.