පැරණි පෙම්වතියට හා ඇගේ සැමියාට පහරදුන් පැරණි පෙම්වතා ඇතුළු 4 දෙනකුට ඇප

0
19

තම පැරණි පෙම්වතියට සහ ඇයගේ සැමියාට පහරදීමේ චෝදනා මත මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පහරකෑමට ලක්වූ කාන්තාවගේ පැරණි පෙම්වතා ඇතුළු සිවුදෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් නාමල් කොළඹගේ මහත්මිය නියෝග කළාය.

මිනුවන්ගොඩ, දකුණු වෑලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අයියා මලෝ දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිවුදෙනාට මෙසේ ඇප නියම කෙරුණි.

මෙම යුවළ  තම දරුවා සමඟ යතුරුපැදියෙන් මිනුවන්ගොඩ නගරයේ පිහිටි බැංකුවකට ගොස් තිබේ. බැංකුව ඉදිරිපිටදී මෙම කාන්තාවට ඇයගේ පැරණි පෙම්වතාගේ සොයුරා හමු වී ඇති බව පොලිසිය පවසයි. කාන්තාවගේ සැමියා සහ ඇයගේ පැරණි පෙම්වතාගේ සොහොයුරු අතර මිනුවන්ගොඩ නගරයේදී ආරවුලක් ඇති වී ඇති බවත් යුවළ සහ දරුවා දකුණු වෑලිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගොස් සිටියදී සැකකරුවන් එම නිවෙසට ගොස් පහරදී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් බව අධිකරණයේදී සඳහන් විය. නඩුව නැවත ලබන 24 වැනිදාට කැඳවීමට නියම කෙරුණි. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් නිරෝෂන් එදිරිසිංහ (12860) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල