නොබැඳි විදේශ පිළිවෙතක් නැත්නම් අපි කොටුවෙනවා

0
66

ශ්‍රී  ලංකාව වර්තමානයේ මුහුණදී ඇති අර්බුදය හමුවේ, ජාත්‍යන්තර සබඳතා පවත්වන ආකාරය තීරණාත්මකය.  වර්තමාන ලෝක දේශපාලන බල අරගලය තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සකසාගත යුත්තේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. මේ ගැටලුව ආශ්‍රිත කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින අභියෝග හමුවේ අන්තර්ජාතික සහාය වැදගත් වන්නේ කෙසේද?

වර්තමාන ජාත්‍යන්තර පද්ධතියේ ස්වභාවය අනුව කිසිදු  රටකට ස්වාධීන පැවැත්මක් නෑ. හැම රටක්ම එකිනෙකා මත අන්තර් රඳා පැවැත්මක් සහිත පද්ධතියක් තුළ කටයුතු කරනවා. ශ්‍රී ලංකාව වැනි විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර පද්ධතිය සමඟ බැඳී සිටිනවා. ඒ සඳහා හේතු වී ඇත්තේ ආනයන සහ අපනයනය මත පදනම් වූ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහිත ආර්ථිකයක් මත රඳා පැවැතීමයි. ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළද එය ආනයන අභිමුඛ ආර්ථිකයක් පවතින රටක්. අපනයනවලින් තමයි ආනයන සඳහා ගෙවිය යුතු විදේශ විනිමය ලබා ගන්නේ. ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ලැබෙන මූලාශ්‍ර වශයෙන් විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය, රේගු ආදායම් සහ ඇඟලුම් කර්මාන්තය සඳහන් කළ හැකියි.

මෑතකදී මුහුණ දුන් පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය  නිසා විදේශ  ආදායම් ලැබුණු ප්‍රධාන  මාර්ග හතරම  බිඳවැටීමක් දක්නට ලැබුණා. එමෙන්ම පසුගිය දශක එකහමාරක දෙකක කාලය තුළ අපේ රටේ තිබුණු ආර්ථික අවකළමනාකරණය නිසා  රටේ විදේශ විනිමය සංචිත  අවසන් වුණා පමණක් නොවෙයි දිගින් දිගටම  විදෙස්  ණය ලබා ගැනීමත් සමඟ  ණය සේවා ගෙවීමට සිදු වූ නිසා විදේශ විනිමය පිළිබඳ අර්බුදය තවදුරටත් උත්සන්න වුණා. මෙබඳු ආර්ථික පසුබිමක් තුළ තමයි ලංකාව දේශපාලන අර්බුදයක් කරා ගමන් කරන්නේ. වර්තමානයේ අපි ජීවත් වෙන්නේ පශ්චාත් ගෝලීය ජාත්‍යන්තර පද්ධතියක.

විශේෂයෙන්ම නව සීතල යුද්ධයක් ආරම්භව ඇති, නව ලෝක බල තුලනයක් නිර්මාණය වෙමින් පවතින අවධියක. චීනය ආසියාවේ බලවතා වශයෙනුත්, ඇමරිකාව ලෝක බලවතා වශයෙනුත්, ඉන්දියාව කලාපීය බලවතා වශයෙනුත්  තම භූ දේශපාලන වුවමනාවන්, අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කරන සහ යුරෝපය තුළ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන අවධියක සහ එම යුද්ධය ලෝක ආර්ථිකයට දැඩිව බලපෑම් කරන අවධියක තමයි මේ සිදුවිම් පෙළ ගැසෙන්නේ. බැලූ බැල්මට අපේ රටේ දේශපාලන  අර්බුදය ජාතික ආර්ථික අර්බුදයක් වශයෙන් දක්නට ලැබුණද එය ජාත්‍යන්තර දේශපාලනයේ සිදුවන බොහෝ  උපනතින් හේතුකොටගෙන සිදුවන සංසිද්ධියක් ලෙස අවබෝධ කර ගත හැකියි.

ඔබ කියන්නේ මෙරට ප්‍රශ්න ජාත්‍යන්තරය සමඟ බැඳී පවතින බවද?

 අපේ රට  ආනයන ආර්ථිකයක් වීමත්, අපේ බොහෝ අපනයන යුරෝපය සහ  රුසියාව  වැනි රටවලට යොමු වීම නිසාත්, ඒ වගේම මෑත කාලීනව  රටට වැඩි වශයෙන් සංචාරකයන් රුසියාව වැනි රටවලින් පැමිණීම නිසාත්, මේ සියල්ල ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය සමඟ සම්බන්ධ වී ඇති ආකාරයක් දැකගත හැකියි.

මේ නිසාම විචාරකයෝ පෙන්වා දෙන කාරණය  තමයි රටේ පවතින  ජාතික ප්‍රශ්නය ජාත්‍යන්තර දේශපාලනය සමඟ සෘජුව බැඳී පවතිනවා  කියන අදහස. හැත්තෑව, අසූව  දශකවල වගේ නොවෙයි වර්තමානයේ  ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලන, සමාජමය  වශයෙන් ජාත්‍යන්තරය සමඟ බැඳී පවතින ස්වභාවයක් හඳුනාගත හැකියි. මේ  නිසා ලංකාවේ වර්තමානයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අන්තර්ජාතික දේශපාලනය, අන්තර්ජාතික සම්බන්ධතා දැඩිව බලපානවා. ඒකට ප්‍රධානම හේතුව තමයි කවර අභ්‍යන්තර   දේශපාලන පරිවර්තනයක් සිදු වුවත්, විදේශ සංචිත ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමකින් තොරව වර්තමාන අර්බුදයට විසඳුමක් නැති බව කිවයුතුයි. අභ්‍යන්තර දේශපාලන අර්බුදය සමනයට පත්කරන්න නම්  මිනිසුන්ගේ අවශ්‍යතා සපයන්න ඕනෑ. විශේෂයෙන්ම ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සාමාන්‍ය තත්ත්වයට පත්කළ යුතු වෙනවා.

ඒ සඳහා  අපට ආනයන අත්‍යවශ්‍ය වෙනවා. මේ රටේ වර්තමාන  අර්බුදය හමුවේ පවතින  ප්‍රධාන ගැටලුව වන්නේ විදේශ විනිමය, එනම් ඩොලර් නොමැති වීමයි. කවර ආණ්ඩුවක් බලයට පත්වුවත් මෙම විදේශ විනිමය ප්‍රශ්නයට විස¾දුමක් සැපයිය යුතු වෙනවා. ඉන්දියාව වැනි රටවලින් ලැබෙන කෙටිකාලීන සහනවලින් මේ ගැටලුවට විසඳුම් සෙවිය නොහැකියි. ඉන්දියාව ක්‍රෙඩිට්ලයින් දුන්නාට ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට ද්විපාර්ශ්වික ණය ගැනීම පහසු නෑ. අප හමුවේ තියෙන විසඳුම් වන්නේ   අයි.එම්.එෆ්, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ප්‍රවේශයන් කෙරෙහි යොමු වීමයි.

වර්තමාන රජය අයි.එම්.එෆ්. යන්න තීරණය  කළේ ඒ නිසයි. එසේ වුවද අයි.එම්.එෆ්. වැනි බහු පාර්ශ්වීය මූල්‍ය ආයතන සිය සේවාවන් ලබා දෙන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවන් සහ විධිමත් වැඩපිළිවෙළක් පදනම් කරගෙනයි.  අයි.එම්.එෆ්. එක හදලා තියෙන්නේ නව ලිබරල්වාදී දේශපාලන, ආර්ථික  දෘෂ්ටිවාදය පදනම් කරගෙනයි. ඔවුන් ණය ලබා දෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳාම, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර ලෝක දේශපාලන ක්‍රමයට බැඳිලා තියෙන රටවල්වලට විතරයි. ඒ වගේම නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල්වලට විතරයි. අයි.එම්.එෆ්. කොන්දේසි තීරණය වෙන්නේ ඔවුන් ගොඩනඟාගත් මූලධර්ම එක්ක. වර්තමාන අර්බුදයෙන් එළියට යන්න නම් අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට සමගාමීවම රටක් විදිහට ජාත්‍යන්තර දේශපාලනයේ විදේශ ප්‍රතිපත්තිය ඇති රටක් විදිහට අනෙකුත් රටවල් සමඟ ගනුදෙනු  හැඩ ගසා ගැනීම අවශ්‍ය වෙනවා. මේ නිසා  ලංකාවේ ජාතික ප්‍රශ්නය සමඟ ජාත්‍යන්තරය ගැට ගැසී තිබෙනවා කියලා කියන්න පුළුවන්.

ලෝක දේශපාලනයේ  වර්තමානයේ ගොඩනැඟී ඇති බලකඳවුරු  ඔස්සේ රටක්  විධියට ලංකාව  ඉදිරියට යා යුත්තේ කෙසේද?

වර්තමානයේ  චීනය සහ ඇමරිකාව  කේන්ද්‍ර කරගෙන බල කඳවුරු දෙකක්  වර්ධනය වෙමින් පවතිනවා. ‘එක් මාවතක් එක් තීරුවක්’ යන සංකල්පය ඔස්සේ  චීනය නව ලෝක විදේශ ප්‍රතිපත්තියත් සමඟ ගොඩනැඟෙන කඳවුරක් සඳහා භූ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේ අතරේ ඇමරිකාව සුපිරි බලවතා විදිහට තමන්ගේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ආසියාවේ ඉන්දු පැසිෆික් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙතැනදී ඇමරිකාව, ඉන්දියාව තමන්ගේ කලාපීය බලවතා විදිහටත් තමන්ගේ  කඳවුරේ ශක්තිමත් සහායකයෙක්  විදිහටත් යොදා ගන්නවා.

මේ බල දේශපාලන ව්‍යුහය තුළ අපි කොහොමද ජාත්‍යන්තර දේශපාලනයත්  සමඟ බැඳී පවතින්නේ?. අපට මේ පාර්ශ්ව තිදෙනාත් සමඟම සමීප ගනුදෙනුවක් පවතිනවා. නිදහසෙන් පස්සේ ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් සමඟ අප ඉතාම සමීප සම්බන්ධතා පවත්වපු රටක්. අප යම් තැනකදී ජාත්‍යන්තර දේශපාලනය තුළ   ජයග්‍රහණ ලබා ගත්තේ නම් ඒ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන්. අප එක කඳවුරකට ගැති වුවහොත් ජාත්‍යන්තර දේශපාලන ව්‍යුහය තුළ අපේ පැවැත්ම අවදානමකට ලක්වීම වැළැක්විය නොහැකියි.

ඔබ  එහෙම කියන්නේ ඇයි?

උතුර නැඟෙනහිර යුද්දෙන් පස්සේ  චීනය සමඟ අපි ඉතා සමීපව ගනුදෙනු කරනවා. මේ අතරේ  ඉන්දියාව සමඟ  යම් දුරස්ථ බවක් ඇති කරගන්නවා. බටහිර සමඟ සම්බන්ධතා බිඳ දමා ගන්නවා. බටහිරත් ඉන්දියාවත්, චීනයත් ශ්‍රී  ලංකාව සමඟ  ගනුදෙනු කරන්නේ  අපට  යහපතක් කිරීම සඳහා නෙවෙයි. ඒ කාලසීමාව තුළ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ ඉන්දු පැසිෆික් කලාපයේ භූ දේශපාලනික වැදගත්කමක පිහිටා තිබෙන නිසාම ඔවුන්ට ලංකාව වැදගත්. එනිසා හැම බලවතෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ ජාත්‍යන්තර අභිලාෂ සාධනය කර ගැනීම සඳහා ශ්‍රී  ලංකාව වැනි රටවල් එක්ක ගනුදෙනු කරන්න. චීනය ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීප සම්බන්ධතා පැවැත්වීම සඳහා ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට උදවු  වෙනවා. අපේ සංවර්ධනයට දැවැන්ත ණය ආධාර ලබා දෙනවා.

බටහිර විචාරකයෝ මෙය හඳුන්වන්නේ ණය උගුලකට හසු කරන රාජතාන්ත්‍රිකභාවය (debt trap diplomacy) කියලා. ණය හරහා සිදුකරන රාජ්‍යතාන්ත්‍රිකභාවය. මේ ප්‍රතිපත්ති හමුවේ කුඩා රාජ්‍යයන් විශේෂයෙන් අප්‍රිකානු රටවල් චීනය  ග්‍රහණයට හසු කරගන්නවා. ආසියාව තුළ ශ්‍රී ලංකාව, පාකිස්තානය, මාලදිවයින වැනි රටවල්වලට  සංවර්ධන ව්‍යාපෘති හරහා ණය ලබාදීම තුළින් අපි ඔවුන්ගේ කොටස්කරුවන් බවට පත් වෙනවා. මේ උපක්‍රමය බටහිරත් අනුගමනය කරනවා.

අපට ආධාර දෙන මුවාවෙන් MCC, SOPA වැනි ව්‍යාපෘති ආවේ මේ නිසා. ඉන්දියාවත් මේ ක්‍රමය අනුගමනය කරනවා. ලංකාවට ක්‍රෙඩිට් ලයින් දීලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? අපට තෙල් සැපයුමේ ඒකාධිකාරය ලබා දෙන්න කියලා. අපේ රට, ආර්ථික වශයෙන් ඉතා දුර්වල තැනක ඉන්න නිසා බාහිර බලවේගයන්ට පුළුවන් අපව භාවිත කරන්න. අපි ආර්ථික වශයෙන් දුර්වල වෙන්නේ  කොතැනද අපි එහි වින්දිතයන් බවට පත්වෙනවා. මේ වෙනකොට සිදුවෙලා තියෙන්නෙ රටේ අභ්‍යන්තර අර්බුදය හේතුකොටගෙන ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන කලාපීය බලවතා වන ඉන්දියාවත්, ලෝක බලවතා වන ඇමරිකාවත්,  ලෝක බලවතා වීමට අපේක්ෂා කරන  චීනයත් ලංකාවට මැදිහත් වීමයි.

ඒ කියන්නේ අප හැම පැත්තෙන්ම කොටුවෙලාද?

කුඩා රටක් වශයෙන් අප තේරුම් ගත යුත්තේ අපට පුළුවන්ද රටේ ආර්ථික අර්බුදය හමුවේ මේ ජාත්‍යන්තර තත්ත්වය තුළ මේ තිදෙනා කළමනාකරණය කරන්න. නමුත් යම් ආකාරයකින්  ප්‍රතිපත්තිමය තැනක  ඉඳලා  සැබෑ නොබැඳි පිළිවෙතක් අනුගමනය කළහොත්, අපට යම් ආකාරයක ගැලවීමක් තියෙනවා. චීනය  එදා ඉඳලම අපිත් එක්ක වෙළෙඳ සබඳතා පවත්වපු හිතවතෙක්. ඉන්දියාව අපේ අසල්වැසියා සහ කලාපීය බලවතා. ඒ  වගේම ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් සියලු ක්ෂේත්‍රවල සබඳතා පැවැත්වූ හිතවතා.

සිරිමා බණ්ඩාරනායක මැතිනිය නොබැඳි ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා යම් යම් දැඩි තීරණ ගත් අවස්ථා තිබුණා. ඒ නිසාම ඇයව ආරක්ෂා කරන්න ලෝකයේ බලවත් රටවල් පෙනී සිටියා. නමුත් 77න් පස්සේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය බිඳ ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට සහ වර්තමානයේ අවස්ථාවට අනුව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තවත් අර්බුදයකට මුහුණ දෙමින් පවතිනවා. හම්බන්තොට වරායට පැමිණෙමින් තිබෙන චීනයට අයත් විද්‍යාත්මක, පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග්-5  පිළිබඳ ප්‍රශ්නය ලංකාව බරපතළ අර්බුදයකට යොමු කරවන්නක් නේද?

ඉන්දියාව චෝදනා කරන්නේ ඉන්දියන් සාගරයේ ඉන්දියාවේ යුද ක්‍රියාකාරකම් සහ තාක්ෂණික රහස් නිරීක්ෂණය කිරීම සඳහායි, එම නැව ලංකාවට එන්නේ කියලා. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඒ නිසා ඔවුන් ලංකාවට මේ සම්බන්ධයෙන් බලපෑම් කරනවා. එම නෞකාව හම්බන්තොට වරායට එන්න තිබ්බේ මේ මාසේ 11 වැනිදා. ජූලි  මාසේ 12 වැනිදා තමයි ලංකාවේ තානාපති කාර්යාලයට මේ බව දැනුම් දීලා අනුමැතිය ලබා ගන්නේ. ඒ සඳහා රජය අවසර දීලා තිබෙද්දිත් අපි කියනවා ඒ පිළිබඳ නැවත නැවත සලකලා බලන්න ඕන, ඒ නිසා එම ගමන ප්‍රමාද කරන්න කියලා. මෙහෙම කරන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් එල්ල වන භූ දේශපාලනයේ ඇති  අර්බුද නිසා. අපි  නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කළා නම් සියලු කාරණා වෙනුවෙන් පෙනී ඉන්න ඕනෑ.

චීනය අපේ හිතවතෙක්. අපි ඔවුන්ට එන්න අවසර දීලා තියෙනවා. ඒක අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය. ඒ වගේම ඉන්දියාව අපේ හිතවතෙක්, අසල්වැසියෙක්, අසල්වැසියාගේ  ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පෙන්වන්න ඕන. බාහිර රටවල්වලින් එල්ලවෙන පීඩනය අපට  නවත්වන්න බෑ. චීනය බලනවා චීනයට හිතැති  ආණ්ඩුවක් ලංකාවේ පත්කර ගන්න. ඉන්දියාව බලනවා ඉන්දියාවට හිතැති ආණ්ඩුවක් පත් කර ගන්න. ඇමරිකාවත්  එහෙමයි. ඒක  ලෝක දේශපාලනයේ සදාතනික සත්‍යය.

සංලාපය _ රසිකා එස්. රණවීර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය

කැලණිය විශ්වවිද්‍යාලය