කොන්දේසි රහිතව සර්වපාක්‍ෂික ආණ්ඩුවකට විපක්‍ෂය එකතු විය යුතුයි

0
24

පටු දේශපාලන කරුණු පසෙකලා, රට ගොඩගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සමගි ජන බලවේගයත් විපක්ෂයේ අනිකුත් පක්ෂත් කටයුතු කළ යුතු බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පවසයි. ශ්‍රී  ලංකා පොදු පෙරමුණේ  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීය. එහිදී හෙතෙම මෙසේද කීවේය. “මේ සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වෙද්දී පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වෙලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ රාජාසන කතාවත් සමඟ අපි දකිනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් ඇතුළු සියලු දෙනා අදහස් ප්‍රකාශ කරනවා.

ඒ හැම අදහසකම සමගි ජන බලවේගය පැහැදිලිව යම් යම් කොන්දේසි මාලාවන් ගැන කියනවා. අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් අපි පක්ෂයක් විදිහට කියනවා මේ අවස්ථාවේ කොන්දේසි දාන කාලයක් නොවන බවයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළ පසු විපක්ෂය මේ අවස්ථාවේ දඩමීමා කරගෙන කල්  මරමින් සිටිනවා. අපි පක්ෂයක් හැටියට කියනවා. දැන් රටට වැඩ කරන්න ඕනෑ වෙලාවක්. නැවත හිස ඔසවන කොවිඩ් මර්දනය කරන්නත් ඕනෑ අවස්ථාවක්.

ලෝකයේ රටවල් මේ විදිහට ආර්ථික, සමාජීයම අස්ථාවරයකට පත් වෙච්ච අවස්ථාවක මෙවැනි එකමුතුකම් වලින් ඒ රටවල් ගොඩනැඟිලා තියෙනවා. ඒ නිසා අපි 2/3 බලයක් අරගෙන ආපු අපි බලය නොපෙන්වා අපි නිහතමානීව ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ වර්තමාන ජනාධිපතිතුමා සමඟ කටයුතු කරනවා නම් මම හිතන්නේ අනෙක් පක්ෂවලට මහ ලොකු දෙයක් නොවේ.

ඒ නිසා මේ අවස්ථාවේ තමන්ගේ ජයග්‍රහණය, මැතිවරණය ගැන හිතන්නේ නැතිව මේ වෙලාවේ මේ රටේ දුක් විඳලා මහන්සි වෙන ගොවියාට, කම්කරුවාට, ක්ෂේත්‍ර ගණනාවක් කඩා වැටිලා අතරමං වෙලා සිටින ජනතාවට එදා වේල හොයාගෙන තමන්ගේ අතමිට සරු කරගෙන බලාපොරොත්තු වෙච්ච තැනට ජනතාවට යන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න සහයෝගය ලබා දෙන්න. ඒ නිසා ජනාධිපතිතුමාට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න. අපි වගකීමෙන් කියනවා සියලු දෙනා එකතුවෙලා රට හදන්න එකතුවෙන්න.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස එක එක දේවල් ජනතාව අතර ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා.

මේ අරගලය ක්‍රියාත්මක වෙච්ච ආකාරය බැලුවාම මහා පිරිසකගේ වුවමනාවෙන් සිදු වුණ දෙයක් නොවේ. තක්කඩි දේශපාලන පක්ෂ අහිංසක මිනිසුන්ගේ අරගලය ඔවුන්ගේ අතට අරගෙන ක්‍රියාත්මක කරපු දෙයක් බව දැන් අනාවරණය වෙනවා. ඒ නිසා මේ පක්ෂවලටත් අපි කියන්නේ මේ තත්ත්වයට යන්නේ නැතිව අපි සියලු දෙනා එකතුවෙලා කටයුතු කරමු.”

පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත්

“අපි පහුගිය කාල සීමාව පුරාම සමාජය තුළ ඇති වෙච්ච යම් යම් ආර්ථික අමාරුකම් ඔස්සේ ජනතාවගේ තිබිච්ච ඒ සැබෑ අරගලය ඊනියා අරගලකරුවන්ගේ සටන් පාඨයක් බවට පත්වෙලා අද වෙද්දී එහි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ, 69 ලක්ෂයක් ඡන්දය ගත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටෙන් පවා යන්න සිදු වුණා. පක්ෂයක් විදිහට, ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාට අපි පක්ෂයක් විදිහට කිසිම කොන්දේසියක් නොමැතිව මහජන මන්ත්‍රිවරු විදිහට උපරිම සහයෝගය ලබා දෙනවා.

අනුර කුමාර දිසානායක මැතිතුමා පැහැදිලිව කියලා තියෙනවා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ නෑ කියලා. එතුමාගේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අපිට විශාල කුකුසක් තිබෙනවා. අපි කියනවා සැබෑ ජනතාවාදී නායකයෙක් විදිහට කටයුතු කරන්න කියලා. මේ කතා කරන අය මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළකට සහයෝගය ලබා දෙයි කියලා අපිට කිසිම විශ්වාසයක් නෑ. අනෙක් දේශපාලන පක්ෂ ඉල්ලන්නෙත් මැතිවරණයක්. මෙය මැතිවරණයක් තිබිය යුතු කාලයක් නොවේ. මැතිවරණයක් තිබෙන මානසිකත්වයක් දැන් ජනතාව තුළ නෑ. මේ අවස්ථාවේ සියලුදෙනා වගකීම් ඉෂ්ට කරන්නයි ඕනෑ. දැන් මේ සඳහා හොඳටම කල් මැරුවා ඇති.”

දැන් මේ රටේ භූමියෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ රටේ තිබෙන ආහාර ප්‍රශ්නය විසඳන්න ඒ වැඩපිළිවෙළ ගේන්න ඕනෑ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් කැබිනට් එකක් පත් කරලා එයට අවශ්‍ය විෂය පථය බෙදා දීලා ජනතාවට ඒ ආයතනවල සහයෝගය ලබාගෙන ඒ වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යන්න අවස්ථාවක් ලබාදිය යුතුයි.

 රනිල් වික්‍රමසිංහ මැතිතුමා  හා අපේ ප්‍රතිපත්ති අතර ගැටලුවක් තිබුණද නමුත් පක්ෂයක් විදිහට අපි තීන්දුවක් මත එතුමාට සහයෝගය ලබා දුන්නා. සත්භාවයෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විදිහට ලබා දුන්න සහයෝගය අරගෙන සහ අනෙකුත් සහයෝගයන් ලබාදෙන තවත් කණ්ඩායම් ඉන්නවා නම් ඒ අයත් මේ සඳහා ගොනුගත වෙලා මේ රට ඉදිරියට රැගෙන යෑමේ වැඩපිළිවෙළට එකතුවෙන්න.

ඒ වගේම අපෙන් සමහර කොටස් කැඩිලා කල්ලි කණ්ඩායම් නායකයෝ බිහි කරගෙන ඉන්නවා. ඒ අය ඉල්ලන්නෙත් මැතිවරණයක්. මේ බොහෝ දෙනෙක් තේරී පත් වුණේ මේ සාටකයට පින් සිද්ධ වෙන්න. ඒ කාරණය මම හිතන්නේ මේ රටේ අමතක කරන්න පුළුවන් දෙයක් නොවේ. බොහෝ දෙනෙක් පත් වුණේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න කියලා කියන්න ඕනෑ.

ඉදිරියට මේ රට ගෙනියන වැඩපිළිවෙළට අපි පක්ෂයක් විදිහට සහයෝගය ජනාධිපතිතුමාට ලබා දෙනවා. සියලුදෙනාගේ සහයෝගය ජනාධිපතිතුමාට ලබා දීලා මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන වැඩපිළිවෙළට කකුළෙන් අදින්නේ නැතිව සහයෝගය ලබා දෙන්න.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය