එදා අපි කිව්ව දේ ඇහැව්ව නම් අද රට බංකොලොත් වෙන්නේ නෑ

0
37

“යම් යම් මන්ත්‍රිවරු ආණ්ඩුවත් එක්ක එකතු වුණොත් එතැන පාක්ෂිකකමක් නැහැ. ඒ තියෙන්නේ පෞද්ගලිකව හෝ කණ්ඩායම් ලෙස ආණ්ඩුවට එකතු වීමක්” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (14දා)  පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

“ආණ්ඩුවට ආර්ථිකය කෙටිකාලීනව ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් විපක්ෂයෙන් ඉදිරිපත් කළා. මේ ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව අද වෙනකොට සෑහෙන කාලයක් ගිහින් තියෙනවා. ඊට කලින් අගමැතිවරයා විදිහටත් හිටියා සෑහෙන කාලයක්. නමුත් තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ඉදිරිපත් කළා. දළ අදහසක් ඉදිරිපත් කළා. නමුත් කළ යුත්තේ කුමක්ද, කෙසේද, කවරදාද කියන එක සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ. අපි කල්පනා කළා විපක්ෂයෙන් අපි ඉදිරිපත් කරන්නම් වැඩපිළිවෙළක්. ණය උගුලෙන් මිදීම සඳහා අන්තර්ග්‍රාහී තිරසර සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් අවශ්‍යයි.

ආර්ථිකය ගොඩනැඟීමට කරුණු 10ක අවම පොදු වැඩපිළිවෙළක් ඕන. මේ අවම පොදු වැඩපිළිවෙළ අපි නිර්මාණය කළේ කාලයක් තිස්සේ. අපි දැක්කා මේ ආර්ථික අර්බුදය කොච්චර දුරට ගැඹුරෙන් ජනතාවට මුහුණදෙන්න වෙයිද කියන එක පිළිබඳව. 2020 නොවැම්බර් මාසේ ඉඳලා මේ යන ගමන වැරදියි හරි ගමනකට අවතීර්ණ වෙන්න ඕන කියල කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරලා මේ රට ගොඩගන්න u-turn එකක් ගහන්න ඕන කියලා කිව්වා. ඒව  ඇහුවා නම් අද වෙනකොට රට බංකොලොත් වෙන්නේ නැහැ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පමණක් නෙවෙයි ණයහිමියෝ සමඟ එකඟතාවකට එන්න සිදුවෙලා තියෙනවා.

දැන් වෙනකොට චීන-ඉන්දියානු අර්බුදයත් එක්ක ඇමරිකානු අර්බුදයත් එක්ක මේ ප්‍රශ්න, ගැටලුව තවත් සංකීර්ණ වෙලා තියෙනවා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බලාපොරොත්තු වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගන්න එක තවත් ගැටලු සහගත වන බව තමයි පෙනී යන්නේ. මම මේක කියන්නේ 2020 මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රියාත්මක වුණා නම් අද අපේ රටේ මිනිසුන්ට මේ වගේ ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. පෙට්රල් පෝලිම අඩු වෙච්ච නිසා, ගෑස් පෝලිම අඩු වෙච්ච නිසා ප්‍රශ්න විසඳිලා කියලා සමහරු හිතනවා. කිසිසේත්ම නැහැ. හැබැයි හොඳ දේට හොඳයි කියන්නත් අපි පසුබට වෙන්න ඕන නෑ.

කෝටා ක්‍රමයට අනුව  සීමිත තෙල් ප්‍රමාණයක් බෙදාහැරීමට කංචන විජේසේකර ඇමැතිවරයා අරගෙන තියෙන ඒ තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. අපි විශ්වාස කරනවා ආණ්ඩුවට මේ තාක්ෂණ සේවාවෙන් පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා මේ උදාහරණය තවදුරටත් අනිත් ඒවටත් ක්‍රියාත්මක කරන්න කියලා. අපිට හොඳට තාක්ෂණය කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා අපේ 1990 සුවසැරිය තමයි ලංකාවේ තියෙන කාර්යක්‍ෂම සේවාව. සම්පූර්ණයෙන්ම technology රැප් form එකක් මත තමයි ඒ වැඩපිළිවෙළ සිදුවෙන්නේ.  

දැන් ආණ්ඩුවේ දත්තවලට අනුව උද්ධමනය සියයට හැටයි. ඒ කියන්නේ එදා ලක්ෂයකින් කරන්න පුළුවන් වැඩ කොටසක් තිබුණ නම් අද ඒ ලක්ෂයක වටිනාකම හතළිස් දාහකට අඩුවෙලා. ඇත්ත වශයෙන්ම පුද්ගලයන්ගේ තරාතිරම අනුව මේක වෙනස් වෙනවා. ආහාර  උද්ධමනය සියයට අසූවක් කියන්නේ ලක්ෂයකින් ගන්න පුළුවන්කම තිබුණ නම් දැන් ගන්න පුළුවන් වෙන්නේ රුපියල් විසි දාහක ප්‍රමාණයක් විතරයි. ආර්ථික අර්බුදය නිසා සමස්ත ශ්‍රී ලාංකිකයෝ අතිශයෙන් දුප්පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ වත්කම් අතිශයින් අගය අඩු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයට විස¾දුමක් පේන තෙක් මානයක නැහැ. එහෙම නම් කළ යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධයෙන් අපි කාටත් වගකීමක් තියෙනවා.

අපේ අදහස් ඉදිරිපත් කරන්න යම් කිසි උත්සාහයක නිරත වෙනවා. සර්වපාක්ෂික රජයක්, යාන්ත්‍රණයක් ගොඩනඟන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී හොඳයි. හැබැයි මොකක්ද වැඩපිළිවෙළ, මොකක්ද කාලපරිච්ඡේදය, කවුද මේකෙ ඉන්නෙ ඒ කිසි දෙයක් නැතිව විවෘතව පක්ෂවලට ආරාධනා කළාම ඒ දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. යම් යම් පුද්ගලයෝ වශයෙන් මන්ත්‍රිවරු ආණ්ඩුවත් එක්ක එකතු වුණොත් එතැන පාක්ෂික කමක් නැහැ. ඒ තියෙන්නේ පෞද්ගලිකව කණ්ඩායම් ලෙස ආණ්ඩුවට එකතු වීමක්. කාඩ් කුට්ටම නැවතත් අනල ඒ කට්ටිය මෙතැනට පත්වෙනවා.

දැන් අරගලය බලාපොරොත්තු වුණේ මොකක්ද. ඒකෙ බලාපොරොත්තු වුණේ system change එකක්, වෙනසක්. එය සැබෑ වෙනසක්. මෙතැන කිසි වෙනසක් නෑ. රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් මේ ආණ්ඩුවේ වැඩ කටයුත්ත ඉස්සරහට යන බවක් තමයි මට නම් පේන්නේ. බැසිල් රාජපක්ෂට හරි වෙන කාට හරි ඕන විදිහට තමයි මෙහෙය වෙන්නේ. ඒ පසුබිම මත අපි තීරණය කරලා තියෙනවා ආණ්ඩුවට අවශ්‍ය විපක්ෂයේ සහයෝගය ලබා දෙන්න. ඒක  පාර්ලිමේන්තුවේ  කාරක සභා හරහා කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඊට එහා ගිය තවත් යෝජනාවක් පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කළා. ඒ තමයි විශේෂ කාර්යාංශයක් නිර්මාණය කරන්න පුළුවන්. ආර්ථිකය ගොඩනැඟීම සඳහා  විශේෂ කාර්යාංශයට විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ලබාගන්න පුළුවන්. නිල බලයක් එක්ක එතකොට හැකියාව තියෙනවා. ඕන්නම් කාරක සභාවලින් තවත් ඉදිරියට ගිහිල්ලා යම් කිසි විදිහකට ඊටත් වඩා ඍජුව සම්බන්ධ වෙන්න. මේ ඛේදවාචකයෙන් ගොඩ එන්න.

ඒ කෙසේ වෙතත් අපි  වැඩපිළිවෙළක් නිර්මාණය කරලා තියෙනවා. ඒක රටවැසියා ඉදිරියේ අපි ලබාදිය  යුතුයි. ඒක පාර්ලිමේන්තුවේදී ප්‍රථම වතාවට සිකුරාදා මම සඳහන් කළා. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ජනාධිපති කිරීමේ උත්සාහයේදී මට පැවැරුවා, ඒ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා එකඟ වෙන්න ආර්ථික වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න කියලා. මං ඒ සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ දිගින් දිගට සාකච්ඡා කළා. අපට තිබුණා ලියකියවිලි දෙකක්. එකක් තමයි මා විසින් නිර්මාණය කරන ලද අවුරුද්දක විතර කාලයක් තිස්සේ ඉඳලා ගොඩනැඟීමේ  මූලික වැඩපිළිවෙළ. එය සමගි ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රය. මගේ අනෙකුත් සගයන් දෙන්නා කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න මැතිතුමා සමඟ සාකච්ඡා කරල එකඟ වෙලා අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ එකඟතාව මත තිබිච්ච වැඩසටහනක්.

ඊට අමතරව අපේ සෝභිත ස්වාමීන් වහන්සේ විසින් පාවිච්චි කරල දැනට කරු ජයසූරිය මහතා විසින් නායකත්වය දෙන ආචාර්ය රොහාන් සමරජීව මැතිතුමා හරහා ඒ කට්ටියත් අවුරුද්දක විතර තිස්සේ ඉඳලා නොයෙකුත් කණ්ඩායම්වලට කතා කරලා දේශපාලන පක්ෂවල කණ්ඩායම්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ආර්ථික විද්‍යාඥයෝ ඔවුන් යම් කිසි පොදු එකඟතාවක් තියෙන වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් යම් කිසි තැනකට ඇවිත් තියෙනවා. අපි කළේ සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරය හරහා නිර්මාණය කරන ලද එකඟතාවක් තියෙන පොදු ප්‍රතිපත්තිය සහ අප විසින් නිර්මාණය කරන ලද ඒ වැඩපිළිවෙළ යම් කිසි විදිහකට ඒකාබද්ධ කළා. ඒ කරලා අපි දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා එකඟතාවක් ගත්තා.

අපි ඉදිරිපත් කරන ආර්ථිකය ගොඩනැඟීමේ අවම පොදු වැඩපිළිවෙළට බොහෝ දේශපාලන පක්ෂවල අනුමැතිය දැනටමත් තියෙනවා. අපිට මේකේ එකින් එක අරගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කළ හැකියි පාර්ලිමේන්තුව තුළ යම් කිසි විශේෂ කාර්යාංශයක් තුළ. ඊට පස්සේ ආණ්ඩුවේ  වැඩපිළිවෙළ සමඟ එකඟතාවක් තියෙනව නම් අපිට මේ අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ගෙවෙන්නේ අනිත් පැත්ත. රජය කියනවා මෙන්න වැඩපිළිවෙළ ඊට පස්සේ විපක්ෂ කණ්ඩායම් මේකට කැමැතිද නැද්ද කියල සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට  එනවා. මෙතැන අපට බලන් ඉන්න වෙලාවක් නැහැ. දැනටමත් පරක්කුයි .

මේ ආර්ථිකය ගොඩනැඟීමට කාරණා දහයක් අඩංගු කරල අපි පොදු වැඩපිළිවෙළක් හදලා තියෙනවා. ණය අර්බුදය කළමනාකරණය කිරීම, ඒකට අපි කළ යුතු දේවල් මොනවද කියලා එකින් එක නම් කරල තියෙනව.

සැලකිය යුතු කාලයක් අපි නම් කරල තියෙනව. මොකක්ද කරන්න ඕන, කොහොමද කරන්න ඕන, කවද වෙනකොට කරන්න ඕනද කියන එකත් අපි කරල තියෙනවා. මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය කාරණා පහක් තියෙනවා. ආදායම් ස්ථාවර කිරීම ගැන අපි කතා කර තියෙනවා. වියදම් පාලනය ගැන කාරණා නවයක් තියෙනවා. කොහොමද  වියදම් කළමනාකරණය කරගන්නේ, රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අදහස් අඩංගු වෙනවා. කාටවත් මෙතැනින් පැනලා යන්න පුළුවන්කමක් නෑ. මොකද යම් කිසි එක එකඟතාවක් මෙතැන තියෙනවා. දේශපාලන පක්ෂවල, විපක්ෂයේ අපි කවුරු මොනවා කිව්වත් අපේ මේ තිත්ත බෙහෙත් ගන්න සිද්ධ වෙනවා.

නිර්මාණි ගුණරත්න