අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළ විපක්‍ෂය වෙත ජනපති කිව යුතුයි – අශෝක් අබේසිංහ

0
16

ජනාධිපතිවරයා කළ යුත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලීම නොව ඒ සඳහා රජයේ වැඩපිළිවෙළ විපක්ෂයේ පක්ෂ වෙත ඉදිරිපත් කිරීම යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ ‘මව්බිම’ ට පැවැසීය.

එම වැඩපිළිවෙළ විපක්ෂයේ පක්ෂ වෙත දැනුම් දෙන්නේ නම් එහි ඇති අඩුපාඩු පෙන්වා දී ලබාදිය යුතු සහයෝගය පිළිබඳ අවධානය යොමු කිරීම කෙරෙහි සලකා බැලීමට හැකියාව ඇතැයි අබේසිංහ මහතා අවධාරණය කළේය.

පසුගිය මාස කිහිපයෙහි රට තුළ පැවැති ගෑස් සහ ඉන්ධන පෝලිම් අඩුවී ඇතත් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර වන එළවළු, බිත්තර, මස්, මාළු ආදිය සහන මිලට ලබාදීම කෙරෙහි ආණ්ඩුව සැලකිලිමත් විය යුතුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

සර්වපාක්ෂික වැඩපිළිවෙළත්, ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ සහන මිලකට ලබා දීමත් යන කරුණු දෙක එකක් සේ සලකා කටයුතු කිරීම නිසා අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුණරත්න