අම්පිටියේ කෝටිපති කතකගේ ගෙල කපා ඝාතනය කරලා

0
54

මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ පිහිටි සුවිසල් නිවෙසක තනිව පදිංචිව සිටි කෝටිපති කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර තිබේ. සිද්ධිය ඊයේ (14දා) දහවල් 2.00ට පමණ සිදුව තිබෙන බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ කමනී රණසිංහ (64) නමැති දෙදරු මවකි. ඇය කම්කරු ‍ෙදාර්තමේන්තුවේ මාණ්ඩලික ශේ‍ර්ණියේ රැකියාවක නියුක්තව සිට විශ්‍රාම ලැබ නිවෙසේ තනිව ජීවත්ව  සිට ඇත.

මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇත. දරුවන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ පදිංචි බව පොලිස් පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබේ. ඝාතනයට ලක් වූ කාන්තාව මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ ගොඩනැඟිලි කිහිපයක හිමිකාරියක් බවත් ඒවායින් ඇයට විශ්‍රාම වැටුපට අමතරව මාසිකව ලක්‍ෂ ගණනක මුදලක් කූලී ලෙස ලැබෙන බවත් පැවැසේ.

පස්වරු 2.00ට පමණ අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ කළු, අඩි 05ක් පමණ උස පුද්ගලයකු පිහියක් ඇතැතිව අදාළ කාන්තාවගේ නිවෙසින් පිටතට එනු දුටු බවත්, ඔහුගේ අතද කැපී ලේ ගලමින් තිබූ බවත් අසල්වැසියකු කීය. මෙය පවුලේ ප්‍රශ්නයක් බව කියමින් තමන්ටද ඔහු පිහිය දික්කර තර්ජන කළ බවත් නිවෙස තුළට ගොස් බලන විට කාන්තාව කෙඳිරි ගාමින් සිටි බවත් ඔහු පැවැසීය.

ඉන් සුළු මොහොතකට පසු කාන්තාව මියගිය බැවින් රෝහල්ගත කිරීමට උත්සාහ නොකර පොලිසියට දැනුම් දුන් බවද එම පුද්ගලයා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මහනුවර – කේ.එල්.සුරවීර