අනවසර විදුලි රැහැනක පැටලී ඇතෙකු හා ඇතින්නියන් දෙදෙනකු මැරිලා

0
32

මිහින්තලේ පොලිස් වසමට අයත් ඉහළගම  පුදුක්කුලම ගම්මානයේ ගෙවත්තක අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් ඇතෙක් සහ ඇතින්නියන් දෙදෙනකු මරණයට පත්ව තිබේ.

ඉකුත් 13 වැනිදා රාත්‍රියේ විදුලි රැහැනේ ගැටුණු වන අලින් මෙසේ මරණයට පත්ව ඇත. තම ගොවිබිම් ආරක්ෂාව සඳහා ඇතැම් ගොවීන් සිය වියදමෙන් විදුලි වැට ඉදිකරගෙන තිබුණද ආර්ථික අපහසුතා ඇති බොහෝදෙනකු මෙම අනවසර ක්‍රියාවල නිරතවන බව වාර්තා වේ.

විදුලි සැර වැදීමෙන් ඇතෙකු සහ ඇතින්නියන් දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත. සිද්ධිය පිළිබඳව මිහින්තලේ පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට ගොස් සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව අනවසර විදුලි රැහැන අදින ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවැසීය.

කනදරා රක්ෂිතයේ සහ පොතාන රක්ෂිතයේ සැරිසරන වන අලින්  ඒ අවට ගම්මානවල වගාබිම් මෙන්ම බවබෝග විනාශ කිරීම කලක පටන් සිදුවන අතර තම බවබෝග ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් මෙලෙස අනවසර විදුලි රැහැන් ඇදීමට හුරු වී තිබේ. සිද්ධිය පිළිබඳව අනුරාධපුර කලාප භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්දන ජයසිංහ මහතාගෙන් කළ විමසුමේදී හෙතෙම සඳහන් කළේ අද (15දා) මිය ගිය අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරන බවයි.

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතා සඳහන් කළේ වසර ගණනාවක සිට පවතින අලි – මිනිස් ගැටුමට රජය පාර්ශ්වයෙන් නිසි විසඳුමක් නොලැබීම නිසා වන සතුන් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇති බවයි. වන අලින් මරා දැමීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් නිවෙස් බිඳ එහි ඇති බවබෝග ආහාරයට ගැනීමට පවා වන අලින් පෙලැඹී සිටින හෙයින් මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් අසන්නට දකින්නට ලැබීම පුදුමයක් නොවන බවකි.

අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා රජය නිසි ක්‍රමවේදයක් ඉදිරියේදී හෝ ක්‍රියාත්මක නොකළහොත්  මීට වඩා දරුණු තත්ත්වයක් මෙම ප්‍රදේශවල සිදුවිය හැකි බව ලාල් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

නාච්චාදූව – කිත්සිරි වනසිංහ