ගෝඨාභය සිංගප්පූරුවෙන් තායිලන්තයට යැව්ව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමේ සැඟවුණු රහස්

1
523

පළාගිය ජනපති සිංගප්පූරුවේ දින 14ක්

අරගලකරුවන් පසුගිය ජූලි 9 වන දා ජනාධිපති මන්දිරයට කඩාවැදී එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමත් සමග හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රජ මැදුරෙන් පැන යාම මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට පුවතක් නොවේ.

කිසිවෙකුට සොයා ගන්නට බැරි ස්ථානයක රහසේ සැඟවී සිටි ගෝඨාභය අමෙරිකාවට හෝ ඉන්දියාවට යාමට අවසර නොලද තැන ඔහු ජූලි 11 වන දා ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගියේ ය.

ඔහුට එහි නවාතැන් ගැනීමට හැකිවූයේ දින දෙකකටත් අඩු කාලයකි. එසේ වූයේ එරට ජන කොටස් මෙන් ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ඔහුගේ පැමිණීමට විරෝධය පෑම නිසා ය. ඒ නිසා මාලදිවයින රජයේ ද මැදිහත්වීම මත ඔහු විශේෂ ගුවන් යානයකින් ජූලි 14 වන දා මාලදිවයින හරහා සිංගප්පූරුවට පැමිණියේ ය.

ඔහුට සිංගප්පූරුවේ නවාතැන් ගැනීමට අවසර ලැබුණේ දින 14ක කාලයක් පමණි. ඒ කාලය තුළ ඔහුට නවාතැන් ගන්නට වෙනත් රටක් සොයා ගන්නට වූ අපහසුතාව මැද සිංගප්පූරුව තවත් දින 14කට ඔහුගේ වීසා කාලය දීර්ඝ කළේ ය. එම කාලයට අමතරව තවදුරට ත් ඔහු රඳවා ගැනීමට සිංගප්පූරුව කැමැත්තක් නොදැක්වූයේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. සිංගප්පූරුවේ දෙමළ ජනතාව වැඩිපුර ජීවත් වන රටක් බැවින් ඔහුට දෙමළ ඩයස්පෝරාවෙන් අනතුරක් වන්නට ඉඩ ඇති බවට එරට ආරක්‍ෂක අංශවලින් තොරතුරු ලැබී තිබුණු බවට ද වාර්තා විය.

හිටපු ජනපතිට රටක් සොයා දෙන්න රනිල් අත ගසයි

මෙවැනි තත්ත්වයක් යටතේ ගෝඨාට වෙනත් නවාතැන් ස්ථානයක් සොයා දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට ද මැදිහත් වීමට සිදුවිය. ගෝඨාට තායිලන්තයේ නවාතැනක් ලබා දෙන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මැදිහත් වූ බවට වාර්තා වෙයි.

ඒ තත්ත්වය මත සිංගප්පූරුවෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ මේ මස 14 වන දාට ය. ඊට පෙර තායිලන්ත ආණ්ඩුව ගෝඨාට එරට තාවකාලික නවාතැන් ලබාදීමට එකඟ වීමට අනුව ඔහු බැංකොක් වේලාවෙන් 11 වන දා රාත්‍රි 8.00ට පමණ Don Mueong ගුවන්තොටුපොළෙන් තායිලන්තයට පැමිණියේ ය.

වෙනත් රටක ස්ථිර පදිංචිය ලැබෙන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට ඔහුට අවසර ලැබිණි. එසේ අවසරය දී ඇත්තේ තායිලන්ත අගමැති Prayut Chan Ocha විසිනි.

තායිලන්තයේ කොන්දේසි පිට දින 90ක්

ඒ අනුව, දින 90ක කාලයක් එරට රැඳී සිටීමට ඔහුට අවසර ලැබිණි. එසේ අවසර ලැබුණේ කොන්දේසිවලට යටත්ව ය. ගෝඨා තායිලන්තයේ රැඳී සිටින කාලය තුළ දේශපාලනය නොකරන බවට තායිලන්ත රජයට පොරොන්දු වීම එක් ප්‍රධාන කොන්දේසියකි. එසේ ම තායිලන්තයට ප්‍රශ්නයක් ඇති නොවන විධියට හැසිරෙන්නට පොරොන්දු වීම තවත් කොන්දේසියකි. රැඳී සිටින කාලය තුළ ඔහුට පූර්ණ රැකවරණය ලබාදීමට ද එරට පොරොන්දු වී තිබේ.

විශේෂයෙන් ගෝඨාට දින 90ක කාලයක් තායිලන්තයේ විසීමට අවසරය දී තිබෙන්නේ ඔහුට රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමිව තිබීම නිසා ය.

විදේශ මාධ්‍ය පවසන අන්දමට ගෝඨාභයට මෙවැනි අවසරයක් ලැබී තිබෙන්නේ ඔහු තායිලන්තයෙන් කළ ඉල්ලීමකට අනුව ය. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර තිබූ දිගුකාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන මේ ප්‍රතිචාර දක්වා ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. හිටපු ජනාධිපතිවරයා තායිලන්තයෙන් දේශපාලන රැකවරණයක් ඉල්ලා නැති බව ද වාර්තා වේ.

ගෝඨා බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්න අවසර ඉල්ලයි

ආරංචි මාර්ග සඳහන් කරන්නේ තායිලන්තයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථානවලට යාමට ඔහු අවසර ඉල්ලා තිබෙන බවය. මාස තුනක කාලය තුළ ඔහුට බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගන්නට වාසනාව ලැබෙන්නේ නම් ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ හා සිදුකළ වැරදිවලට පව් සමාකර ගැනීමට අවස්ථාවක් ලැබේ නම් එය පූරුවේ කළ පිනක් ලෙස සලකන්නට පුළුවන.

ගෝඨාභයගේ තායිලන්ත ගමනට බී.බී.සී. ප්‍රවෘත්ති සේවය විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි.

මාසයක් තරම් කාලයක් තුළදී රටවල් තුනක නවාතැන් ගන්නට සිදුවූ ගෝඨාගේ අවසන් නවාතැන ශ්‍රී ලංකාව වන්නට බැරි නැත. මෙරට දැනට පවතින දේශපාලන තත්ත්වය සමනය වන විට ඔහුට යළි මවුබිමට පැමිණ සාමකාමීව ජීවත්වන්නට අවස්ථාවක් සැලසේවායි පතමු.

1 COMMENT

Comments are closed.