සෞභාග්‍ය කැන්ඳගන්න එළුවකුට රිදී මාලයක් දාලා දාලා යවමුද?

0
545

මිනිසුන්ගේ විවිධ ඇදහිලි පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප ගිය සතියේ කතා කරනු ලැබුවේ ගස්, ගල් වැනි අජීවී වස්තූන්ට ඔවුන් කළ පුද පූජා පිළිබඳවයි. ඒ වගේම මිනිසාගේ විවිධ ඇදහිලි සහ විශ්වාස ගැන සැලකීමේදී අපිට පෙනෙන තවත් ඇදහිලි ක්‍රමයක් ලෙස විවිධ සතුන්ව ඇදහීම දකින්න පුළුවන්. ගස් ඇදහීම වගේම විවිධ සතුන්ව ඇදහීමට, ඔවුන්ට ගෞරව කිරීමට සහ පුද පූජා කිරීමට මිනිස්සු පෙලඹී හිටියා වගේම තවමත් එය සිදුකරමින් පවතිනවා. මෙය ආරම්භ වන්නේ ඉතාමත් ආදි කාලයේදී. මනුෂ්‍යයා සතුන්ට ඉතා සමීපව හිටියා, ප්‍රයෝජන ලබා ගත්තා. ඇතැම් සතුන් මිනිසාට හීලෑ වුණා. ඇතැම් සතුන්ගෙන් මිනිසා යැපුණා. විශේෂයෙන්ම ගවයා වැනි සතුන්ගෙන් මිනිසා යැපුණා. ඒ නිසා සතුන් ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ සංස්කෘතික අංග බවට පත්වුණා.

ඉන්පසු මිනිසා ඇදහූ ආගම්වල සංකේත බවට සතුන්ව යොදාගත් බවට සාක්ෂි තිබෙනවා. මේ සතුන් පිළිබඳව ගෞරවයක් ඇති වීමට හේතුව වන්නේ, මිනිසුන් දුටු ප්‍රධනාම කරුණක් වන්නේ මිනිසුන්ට කළ නොහැකි සතුන්ට විවිධ දස්කම් තිබෙන බවයි. උදාහරණයක් වශයෙන් සිංහයා, කොටියා වගේ සතුන් බොහොම රෞද්‍රකමෙන් හා ශක්තියෙන් මිනිසාට වඩා වැඩි බව හා ඒ වගේම සතුන්ට ඉතා වේගයෙන් දුවන්න පුළුවන්කම. විවිධ සතුන් ජීවත් වන පරිසර අනුව අනුවර්තන හැකියාවන්, අහසේ පියැඹීමට, මුහුදේ ජීවත්වීමට වැනි මිනිසාට නැති දේවල් සතුන්ට තිබුණා. එම නිසා ඒ තිබෙන දක්ෂකම් මිනිසා අභිභවා යෑම නිසාත් සතුන්ව ඇදහීමට යොමුවුණා කියලා සලකන්න පුළුවන්. මුලින්ම සතුන්ව ඇදහීමට ආරම්භ කර තිබෙන්නේ ඉන්දියන් ජාතිකයන්, ගී්‍රකවරු, මෙසපොතේමියාවේ සිටි අය මෙන්ම ඊජිප්තුවේ සිටි අයයි.

ඉන්පසුව මෙය නොයෙකුත් රටවලට පැතිරිලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත්, ගවයා බොහොම ජවසම්පන්නයි. සිංහයා හුඟක්ම ජවසම්පන්නයි. මේ නිසා ඒ වගේ මිනිස්සු ආස කරන සමහර ගුණධර්ම, සතුන්ගේ හැකියාවන් ලැබීම සහ විවිධ ස්වභාවයෙන් නොමැති සතුන් හා සතුන්ගේ කොටස් මිශ්‍ර කර ඇදහීමට ආරම්භ කළා. ජපානයේ කාන්තා වේශයෙන් දෙවියෙක් සිටින අතර එම දෙවියාගේ ශරීරයේ යට කොටස සර්පයකුගේ වගෙයි. ඒ නිසා එයාට දියේ වගේම ගොඩත් වාසය කරන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අය මිථ්‍යා සතුන්ව මවාගත්තා. මිනිසකුගේ හිස තිබෙනවා, ඇස් හතරක් තිබෙනවා, සතකුගෙ වගේ නියපොතු තිබෙන අත් තිබෙනවා, වවුලකුගේ වගේ පියාඹන්න තටු තිබෙනවා, ශරීරය සර්පයකුගේ වගේ. මේ වගේ මන–කල්පිත සත්ත්ව රූප මවන්නත් මිනිස්සු පටන් ගත්තා.

ඒ සඳහා අපිට හුඟක් නිදසුන් ඊජිප්තුවෙන් දකින්න පුළුවන්. ඊජිප්තුවේ ඉන්නවා ඒ අයගේ දෙවිවරු වශයෙන් මවාගත්ත අය. ඒ අයට නයකුගේ හිසක් තිබෙනවා, මිනිසකුගේ ශරීරය තිබෙනවා. ඇතැම් දෙවිවරුන්ට පක්ෂියකුගේ මුහුණ තිබෙනවා, කඳ මනුෂ්‍යයකුගේ වගේ. ඇතැම් දෙවිවරුන්ට බළලකුගේ වගේ මුහුණ තිබෙනවා, කඳ මනුෂ්‍යයකු වගේ. ඒ විධියට තමන්ට අවශ්‍ය වන ගුණ සහිත දෙවිවරු ඇතැයි කියා විශ්වාස කරනවා. ඒවා ඇදහිල්ලේදී සංකේතවත් කළේ සතකු මඟින්. මේ විධියේ විශ්වාස ඇති වුණේ අතීතයේ. ඒවා අපිට දකින්න පුළුවන් වෙන්නේ විවිධ සංස්කෘතීන්වලින්, අඳින ලද රූප දෙස බැලුවමයි. ඇතැම් අය ඒවා රූප විධියට කෘත්‍රිමව හදලා තිබෙනවා.

ඊජිප්තුවේ තිබෙනවා ප්‍රසිද්ධ ප්‍රතිමාවක්. එහි සිංහයකුගේ වගේ කඳක් තිබෙනවා, මනුෂ්‍යයකුගේ වගේ මුහුණක් තිබෙනවා. ඒ විධියට මනසෙන් විවිධ ආකාරයට සතුන්ගේ විවිධ රූප මවාගෙන තිබෙනවා. අපි බැලුවොත් තනිකරම සතුන්ගේ රූප ඇදහූ සතුන් ලෙස, ගවයා ඉතා ආදි කාලයේ පටන් ඇදහීමට හා ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා. එයට හේතුව වශයෙන් සලකන්නේ හින්දු ආගම බිහිවූ කාලයේ, එනම් අවුරුදු 3,000ට පමණ පෙර, ජෛන ආගම බිහිවූ කාලයේ සතුන්ට හිරිහැර කිරීම, සතුන් මැරීම ආදියෙන් බැහැර වුණු සතුන්ට මෛත්‍රිය පැතිර වූ ආගම්. මේ නිසා  මිනිසාට ප්‍රයෝජනවත් වූ සතුන්ටත් බොහොම ගෞරවයෙන් සැලකුවා.

ගවයා ශුද්ධ වූ සතකු ලෙස හින්දු ආගමේ සලකන්න පටන් ගත්තා. ගවයාට හිරිහැර කරන්නේ නැති සංස්කෘතියක් බිහිවුණා. ගවයාගෙන් කිරි ලැබුණා, ඔවුන්ගේ කුඹුරු හාන්න උදවු වුණා, ඒ වගේම ගවයාගේ ගොම පොහොර ලෙස භාවිත කළා. ඒ නිසා ගවයාව ඇදහිල්ලකට භාජන වුණා. ඒ වගේම ඒ අය හිතුවා ගවයා ඒ අය අදහන දෙවියන් ගමන් කරන වාහනය වශයෙන්. මේ අන්දමට ඇතැම් සංස්කෘතීන්වල කොටියව පූජනීය සතකු ලෙස සලකනවා. කොටියාට තිබෙන ශක්තිය නිසා ශක්තිය සංකේතවත් කරන සතකු ලෙස ඇදහිල්ලට භාජන වුණා. ඒ වගේම එම සත්ත්වයා ඇදහීම තුළ තමන්ටත් එවැනි ශක්තියක් ලැබෙයි යැයි විශ්වාසයක් තිබුණා.

අලි ඇතුන් නැතිනම් හස්ති රාජයන් බුදුන්ගේ ධාතු ආදිය රැගෙන යනවා. ඒ නිසා වැඳුම් පිදුම් කිරීමට වඩා ඔවුන්ට ගෞරවයක් දක්වනවා. නමුත්  හින්දු ආගමේ අය ගනේෂ් නොහොත් ඝන දෙවියා වශයෙන් අදහනවා. ඒ විධියට සෑම සතකුම විවිධ රටවල අදහනවා. සමහර රටවල උෟරව පිළිකුල් කරන සතකු වනවා. නමුත් පැරැණි ඊජිප්තුවේදී උෟරව අදහා තිබෙනවා. ඒ වගේම උෟරාව අරගෙන ඔවුන්ගේ යම් යම් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට බිලිදී තිබෙනවා. ඒ වගේම චීන ජේ‍යාතිෂයේදී ඔවුන්ගේ රාශි චක්‍රයේ සුබ ලකුණු 12න් එක සතකු ලෙස උෟරාව යොදාගෙන තිබෙනවා. පැරැණි කාලයේ සිරියාවේ එළුවා විශේෂ සතකු ලෙස සලකා තිබෙනවා. දෙවියන්ගේ විශේෂ උත්සවවලට ඒ දවසේ එළුවාගේ ගෙල වටේට රිදීවලින් සැකසූ මාල දාලා නිදහසේ යවනවා. ඔවුන් සිතනවා ඒ තුළින් රටට සෞභාග්‍යයක් ඇති වෙයි කියලා.

එය සත්ත්ව වන්දනාව හරහා බලාපොරොත්තු වන එක දෙයක්. වඳුරාව ඉන්දියාවේ පූජනීය සත්ත්වයකු ලෙස සලකනවා. එයට හේතුව වන්නේ ඉන්දියාවේ අදහන දෙවි කෙනකු වන හනුමන්තා වඳුරු ස්වරූපයක් තිබෙන දෙවි කෙනකු ලෙස සලකන නිසයි. ඉන්දියාවේ  ඇතැම් දේවාල තිබෙනවා වඳුරන්ටම පමණක් වෙන් වුණු. ඒ අයගේ නිකේතන වශයෙන් යොදා ගන්න්වා. වඳුරන්ට කිසිම අනතුරක් නොකර, එළවන්නේ නැතිව කන්න බොන්න දෙන තැන් තිබෙනවා. සුනඛයන් කියන්නේ ඉන්දියාවේ සහ නේපාලයේ හුඟක්ම සලකන සතෙක් වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ දෙවියන්ගේ පණිවුඩකරු ලෙස සලකන්නේ වඳුරන්වයි. ඒ වගේම හින්දුවරුන්ගේ සහ නේපාල වැසියන්ගෙත් විශ්වාසයක් තිබෙනවා, සුනඛයන් දිව්‍ය ලෝකයේ ‍ෙදාරටු පාලකයා හා ආරක්ෂකයන්  බව. ඒ වගේම තවත් සතකු වන අශ්වයා අපේ රටවලට වඩා හුඟක් ප්‍රයෝජනයට ගන්නේ පිටරටවලයි. විශේෂයෙන්ම තුර්කිය වගේ රටවල අශ්වයාට වැඳුම් පිදුම් කරනවා.

ඒ වගේම පැරැණි ඊජිප්තුවේ බළලුන්ට හුඟක් පුද සත්කාර ලබාදී තිබෙනවා. ඒ වගේම ඒ අය මිය ගියාට පසු මිනිසුන්ගේ මෘත ශරීර වගේ ඒ අය බළලුන්ගේ මෘත ශරීර කල් තබා ගත්තා. ඊජිප්තුවේ කල් තබා ගත් මමී මළසිරුරු වගේ බළලුන්ගේ ශරීර කල් තබාගෙන පූජනීය සතකු ලෙසට සලකා තිබෙනවා. විශේෂයෙන්ම සර්පයන් මිනිසුන්ගේ හිත් ඇදගෙන තිබෙනවා. ඔවුන් අතර  විෂ සහිත සතුන් ඉන්නවා. සතුන් දඩයම් කරමින් සර්පයන් හැම පරිසරයකම වගේ ජීවත් වෙලා තිබෙනවා. ඒ අතර නාගයන්ට තමයි විශේෂ ස්ථානයක් හිමිවෙලා තිබෙන්නේ. ඉන්දියාවේ නාගදන් යනුවෙන් ප්‍රදේශයක් තිබෙනවා. ඒ අය හුඟක් වෙලාවට නාගයාව තමයි අදහන්නේ.

ඒ වගේම හින්දු අය හිතනවා ශිව දෙවියන්ගේ බෙල්ල වටේ නයෙක් ඉන්නව කියලා. ඒ නිසා නයාත් පුදපූජාවලට ලක්වුණ සතෙක්. පක්ෂීන් අතර ගුරුළා හින්දු ආගමේ ශිව දෙවියන්ගේ වාහනය වශයෙන් සලකනවා. ඉන්දියාවේ ගවයා පිළිබඳව විශේෂ පුවතක් තිබෙනවා. ඇතැම් අවස්ථාවල මිනිස්සු ගවයන්ව විවාහ කරගත් බවට. ඒ සඳහා තිබෙන වාර්තාවක් වන්නේ 2013 ඉන්දියාවේ පුද්ගලයකු එළදෙනක් විවාහ කරගත් බව. එයට හේතුව වශයෙන් කියන්නේ එයාට අපලයක් තිබුණලු, එයින් එයාව ඉක්මනින් මරණයට පත්වෙනවා කියලා විශ්වාස කරපු නිසා කිසිම කෙනෙක් එයාව විවාහ කරගන්න කැමැති වෙලා නැහැ. සාස්තරකරුවකු ළඟට ගියවිට ඒ අපලය දුරු කරගන්න එළදෙනක් සමඟ විවාහ වෙන්න යැයි පවසා තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය  ස්ත්‍රියක් විවාහ කරගන්න බැරි නිසා එළදෙනක් සමඟ විවාහ වෙලා තිබෙනවා.

එම විවාහයෙන් එයා බලාපොරොත්තු වුණේ එම විවාහය නිසා අපලය දුරුවෙයි කියලා. ඊට පස්සේ ඔහුට සාමාන්‍ය ස්ත්‍රියක් සමඟ විවාහ වෙන්න පුළුවන් වෙයි කියලා. මේ විධියේ විශ්වාසවලින් තමයි මේ විධියට සතුන්ව පූජනීය වශයෙන් සලකලා තිබෙන්නේ. ජේ‍යාතිෂයේ ගත්තොත් ජේ‍යාතිෂයේ තිබෙනවා යම් යම් ග්‍රහයන් ගමන් කරන්නේ යම් යම් සතුන්ගේ පිට උඩ කියල. එනම්, ඒ සතුන්ව වාහනය කරගෙන ගමන් කරන බවයි. සූර්යයා යන්නේ අශ්වයකුගේ පිට උඩ කියලා විශ්වාසයක් තිබෙනවා, ඒ වගේම චන්ද්‍රයා යන්නේ ඇතකුගේ පිට උඩ, අඟහරු යන්නේ මොනරකුගේ පිට උඩ, බුධ යන්නේ මී හරකකුගේ පිට උඩ, ගුරු යන්නේ මිනිසකුගෙ පිට උඩ, සිකුරු යන්නේ ගවයකුගේ පිට උඩ, ශනි යන්නේ කපුටකුගෙ පිට උඩ, රාහු යන්නේ අශ්වයකුගේ පිට උඩ, කේතුට ගමන් කරන්න සතෙක් නැහැ. ඒ නිසා කේතු නෙලුම් මලක් උඩ යනවා කියලා. විශ්වාස කරනවා. ඒ වගේම ග්‍රහයන්ටත් වාහන තිබෙනවා. ඒ අනුව ග්‍රහ පූජා කරමින් ඒ සතාටත් එක්කම තමයි ජේ‍යාතිෂයේ අපල ආදිය දුරු වෙන්න පූජාව කරන්නේ.

මේ විශ්වාස ආදි කාලයේ තිබුණට දැන් හුඟක් දුරට නැහැ. විශේෂයෙන්ම ඇතැම් සතුන්ව අදහපු ගෝත්‍රික ශිෂ්ටාචාරවලට, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම පැතිරුණාම ඒ අය සත්තු ඇදහීමෙන් ඉවත් වෙලා තිබෙනවා. ඒ නිසා පැරැන්නෝ ඇදහුවට දැන් විවිධ රටවල ක්‍රිස්තියානි සහ ඉස්ලාමීය භක්තිකයන් අතර මෙම සත්ත්ව ඇදහීම දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අනෙක් ආගම්වල තවමත් ඒ විධියටම අදහනවා. විශේෂයෙන්ම හින්දු ආගම තුළ සතුන් සමඟ විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා.

 මෙයත් එක්තරා මිථ්‍යා විශ්වාසයක්. සතුන්ව ඇදහුවා කියල එම සතාගේ ගුණ අපිට ලැබෙන්නේ නැහැ. එයින් අපිට කිසිම වාසියක්, ජයග්‍රහණයක් හෝ පලයක් ලැබෙන්නේ නැහැ. එය අතීතයේ පටන් මිනිසා සිදුකළ වැරැදි විශ්වාසයක් පමණයි. සතෙක්ව ඇදහූවිටම සතාගේ ගති ලක්ෂණ හෝ ගුණ තමන්ට ආරෝපණය වෙයි කියන එක මිථ්‍යා විශ්වාසයක් පමණයි.

රමෝද් ජයවර්ධන

සමාජ විද්‍යා පර්යේෂක ඒ.ඩී. ගුණසේකර